මුනිඳු වැඩි කැලණි බිම

2019-12-28 11:29:00       1043
feature-top
හිමිදිරිය පින්බරය. කිසිදු කිලුටකට අනවසර, පින්පාට රිදී අරුණැල්ලෙන් පිරුණු, ආදරණීය සියලු සෞම්‍ය සිත් නිවී පහන් වී සැනහෙයි. එවන් හිමිදිරියක් රැගෙන, කැලණි රජ මහා විහාරයේ පින් බිම පුදන්නට, දහදොළොස් දෙනෙක් එක්ව, කරත්තයකින් යන මේ අසිරිමත් ගමනට මම ද එක්වී සිටින්නෙමි. එය, සැබැවින් ම මට ආහ්ලාදජනක වූද, ආනන්දනීය වූද සොඳුරු ගමනක් වූ බව නම් ඔබට කිව යුතුවම ඇත.

 

ගම්පෙරළියේ නන්දලා පියල්ලා, මාතර හාමිනේලා සහ බලදාසලා ද මෙවැනිම කරත්ත ගමනකින් පරගොඩ විහාරයේ නාමල් පූජාවට ගිය අපූරු ගමන ද මට මෙහිදී මතක් වෙයි.

කැලණි මිටියාවත දිගේ හෙමි හෙමින් ඇදෙන අපේ ගැල තුළින්, කැලණි රජ මහා විහාරය පිළිබඳව ඇසෙන සොඳුරු කතාබහ එමටය.

පස්වැනි බුවනෙකබාහු රජතුමාගේ අත්‍යාලංකාර වූ පස්මහල් ප්‍රාසාදය තිබුණේ මෙම කැලණි ගං ඉවුරේ බවද ඔවුන්ගෙන් පැවසෙයි.

 

 
බෞද්ධ පසුබිමක් සහිත
දැනුම... නුවණ...
පෞරුෂයක් හිමි දරුවකු බිහිකිරීම අපේ අරමුණයි
- විදුහල්පති ස්වාමින් වහන්සේ

පරංගින් ලංකාව පාලනය කරන අවධියේදී කැලණි විහාරය වඳින්නට යන බොදු පිරිස ගැනත් කැලණි විහාරයේ සංඝයා වහන්සේගේ දේශපාලන අවබෝධය සහ සිංහල රජවරුන්ගේ ඇති පක්ෂපාතිත්වය ගැනත් පරංගින් තුළ තිබුණේ දැඩි අප්‍රසාදයකි. කැලණි විහාරය තමන් සතු කර ගැනීමට දියෝගු ද මෙල් නමැති පරංගි කපිතාන්වරයා, කැලණි විහාරයට ප්‍රහාරයක් එල්ල කළේත්, කැලණි ගං අසබඩ තිබූ රාජකීය සත් මහල් ප්‍රාසාදයට වී සන්සුන් සුවයෙන් සිටි පස්වැනි බුවනෙකබාහු රජතුමා පරංගි හේවායෙක් විසින් මරා දමනු ලැබුවේත්, උද්ගත වෙමින් තිබූ බෞද්ධ ප්‍රබෝධයට ඇති අප්‍රසාදය මූලිකවමය.

ඓතිහාසික, උත්තරීතර ශ්‍රේෂ්ඨත්වයත් හිමි කැලණි රජ මහා විහාරයේ ප්‍රගමනය උදෙසා බොහෝ රජවරුන් දායක වී ඇත. දේවානම්පියතිස්ස රජු‍ගේ බාල සොහොයුරා වන උත්තිය රජතුමා, මහා නාග රජතුමාගේ පුත්‍රයා වූ යටාලතිස්ස, තුන්වැනි විජයබාහු, දෙවැනි පරාක්‍රමබාහු, කනිට්ඨතිස්ස, නිශ්ශංකමල්ල ආදී රජවරුන් මෙම ප්‍රගමනයේ සාඩම්බර කොටස්කරුවෝ වූහ.

කැලණි පන්සල් බිත්තියේ තිබෙන සෙල් ලිපිය පිහිටුවා ඇත්තේ කෝට්ටේ රජකම් කළ නවවැනි පරාක්‍රමබාහු රජතුමන්ය.

කැලණි දා ගැබේ නිදන් කර ඇත්තේ මැණික් පුටුවකි. චූලෝදර මහෝදර දෙපිරිසගේ අරගලය නවතාලීමට මෙහි වැඩි බුදුන් වහන්සේ ඔවුනට දහම් දෙසුවේ මෙම මැණික් පුටුවේ අසුන්ගතවය.

බුදුන් වහන්සේගේ පාරිභෝගික වස්තුවක් වූ මෙම මැණික් අසුන නිදන්කොට සාදන ලද කැලණි චෛත්‍ය රාජයාණන් වහන්සේ හැටරියනක් උස බවද කියැවේ.

රජ පිළිම ගේ, ඔත් පිළිම ගේ, අලුත් විහාර ගේ සහ රන් පිළිම ගේ ලෙසින් කැලණි විහාර මන්දිරය කොටස් හතරකින් යුක්තය. මේවායේ චිත්‍ර සොයිලියස් මැන්දිස් මහතා අතින් නිමවී ඇත.

බුදුන් වහන්සේ කැලණි පින් බිමට වැඩම කරවීම, පසු කාලීනව ගෝඨාභය රජු කැලණි නුවර රාජ්‍ය කිරීම, කැලණිතිස්ස තෙරණුවන් පිඬු පිණිස මාළිගයට වැඩම කරවීම, කැලණිපුර සිහසුන, කැලණිතිස්ස කුමරුට පවරා රුහුණු රජය බාර ගැනීම පිණිස ගෝඨාභය රජු මාගම්පුර බලා නික්ම යෑම ආදී මනහර චිත්‍ර වලින් විහාර මන්දිරය සැරසේ.

පැහැසරණිය මිණි පැමිණිය කොත් අගට

බද කිකිණිය දද ගිහිණිය විමන් වට

නොව පැරණිය වන රමණිය විටින් විට

සැළලිහිණිය වදු කැලණිය පුරවර ට

මේ පින්බිම චාරිකාවේදී අපට හමුවූ ඉතාම වටිනා සඟරුවනක් ගැනත් උන්වහන්සේගෙන් සිදුවන අති මහත් සේවය ගැනත් කතා නොකරන්නේ නම් එය මහත් අඩුවකැයි මට සිතේ.

ශ්‍රී කල්‍යාණී රජමහා විහාරයේ විහාරාධිකාරී තනතුරත් ශ්‍රී කල්‍යාණී ධර්මවිද්‍යාලයයේ විදුහල්පති තනතුරත් හොබවන දෙණියායේ පඤ්ඤාලෝක ශ්‍රී බුද්ධරක්ඛිත ස්වාමීන් වහන්සේගෙන් කැලණි රජ මහා විහාරයේ ඉරිදා දහම් පාසල ගැන තවත් තොරතුරු විමසීමි.

ඉරිදා දහම් පාසලක් කියූ පමණින් ම එය දහම් පාසලක් නොවන බව කිවයුතු නැත. එනමුදු කැලණි පන්සලේ ඉරිදා දහම් පාසල වචනයේ පරිසමාප්තයෙන් ම අර්ථවත් දහම් පාසලක් වන්නේ එහි උගන්නා දරුවන්ගේ විනයගරුක බව, විනීතවත් බව, ගුරුවරුන් පිදීමට නැමදීමට පන්සල් බිමේ කොතැන වුවත් සුදුසු බව ඔවුන් වටහාගෙන තිබීම ආදී අමිල ගතිගුණ ඔවුන් සතු බව අපට ප්‍රත්‍යක්ෂ වූ හෙයිනි.

තම ගුරුවරුන් පන්සල් බිමේදී, වැලි මළුවේදී, බෝ මැඩදී, ඒ කුමන ස්ථානයකදී මුණ ගැසුණත් ගුරුවරුන්ට පසඟ පිහිටුවා වැඳ දණ නමස්කාර කිරීමට ඔවුන් පසුබට වන්නේ නැත.

ශ්‍රී කල්‍යාණී ධර්මවිද්‍යාලයීය දහම් පාසල ආරම්භ වී ඇත්තේ 1972 වර්ෂයේ වන අතර, තවත් අවුරුදු තුනකින් එහි පනස්වන සංවත්සරය ඇරඹෙයි. දැනට මෙම දහම් පාසල ආරම්භ කර වසර 47කි.

විද්‍යාවේදී, ගරු තලේවෙල විජිත ධම්මරක්ඛිත ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ළමයින් පස් දෙනෙකුගෙන් ආරම්භ කර ඇති මෙම දහම් පාසල අද සිසු දරු දැරියන් පන්දහස් තුන්සිය දෙනෙකුගෙන් සමන්විතය. සියලුම පන්ති අනූ එකකි.

උදාහරණයක් වශයෙන් හය වසර පන්ති අටකි. පහ වසර පන්ති අටකි. සිංහල මාධ්‍ය පන්ති හැත්තෑවක් ඉංග්‍රීසි මාධ්‍ය පන්ති විසි එකකුත් ඇත. මෙම දැරි දැරියනට අධ්‍යාපනය ලබාදීම සඳහා එකසිය තිස්පහක් පමණ ගුරු මණ්ඩලයක් ද සිටිති.

මෙම ගුරු මණ්ඩලයේ වෘත්තීය මට්ටම, නිපුණතා මට්ටම සහ අධ්‍යාපන මට්ටම් ආදියේ සමමිතික තාවය රඳවා ගැනීම උදෙසා මෙම ගුරුවරු වෙනුවෙන් න්‍යායික සහ ප්‍රායෝගික පුහුණුවක් ද ලබා දෙයි.

මං කැමතියි ඒ න්‍යායික සහ ප්‍රායෝගික පුහුණුව කෙබඳු ආකාරයකට විහිදී යන්නේදැයි කියල ඔබ වහන්සේගෙන් දැනගන්න.

මෙහෙමයි. ඒවා දහම් අධ්‍යාපනය, සදාචාර අධ්‍යාපනය, භාෂා අධ්‍යාපනය, ඉගැන්වීමේ ක්‍රම සහ ශිල්ප, ළමා මනෝ විද්‍යාව, ඇගයීමේ ක්‍රම ශිල්ප ආදී වශයෙන් දේශන, වැඩමුළු පුහුණුවීම් සහ කණ්ඩායම් වැඩ ආදිය සිදු කරලා එක් දිනක පූර්ණ වැඩමුළුවක් පවත්වනවා හැම අවුරුද්දකම.

 

ආචාර්ය මණ්ඩලයට බඳවා ගන්නා හැම කෙනෙක්ම අවුරුදු තුනක් මේ ගුරු පුහුණුව ලැබිය යුතුයි. ඉන් පසුව තමයි අපි, ස්ථිර ගුරු පත්වීම් ලබා‍ දෙන්නෙ.

දහම් පාසලක් වශයෙන් ලබාගත් ජයග්‍රහණ ගැනත් ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි.

කැලණි කලාපයේ තිබෙන දහම් පාසල් 54 කින්ම අඛණ්ඩවම වසර හයක් අපේ දහම් පාසල තමයි සිසු නිපුණතා තරගවලින් ප්‍රථම ස්ථානය දිනාගෙන තියෙන්නෙ. එහෙම ඒ ජයග්‍රහණ ලබාගත්තෙ වෘත්තීය මට්ටමෙන් අපේ ගුරුවරුන්ගේ දක්ෂතාවල ප්‍රතිඵලයක් විදියට.

විෂයය පරිබාහිර කටයුතු රාශියක් අපි සංවිධානය කරනවා. උදාහරණයක් හැටියට කිව්වොත් නිදහස් දිනය, සිංහල අවුරුද්ද, ලෝක ළමා දිනය, ලෝක පරිසර දිනය වැනි සුවිශේෂී දින අරමුණු කරගෙන අපේ දහම් පාසලේ දරුවන්ට ඒවායේ වටිනාකමට සහ අගය තේරුම් ගෙන හැකි විදියට දාර්ශනිකව සහ ප්‍රායෝගිකව අපි ඒ දරුවන් දැනුමෙන් පෝෂණය කරලා තිබෙනවා.

ඒ සියල්ලක් ම සංවිධානය කරන්නෙ මේ ගුරුවරු. එහිදී අපේ දහම් පාසල් දරුවන්ගේ දක්ෂතාවන් බොහෝ ම ඉදිරියෙන් තිබෙන බව මං කියන්න කැමතියි.

මෙතරම් විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක් හැසිරවීමට ශිෂ්‍ය නායකයින් කණ්ඩායමකුත් ඇති.

ඇයි නැත්තෙ.. කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයින් වශයෙන් එකසිය හැට දෙනෙකුගෙන් සමන්විත ශිෂ්‍ය නායක සංචිතයක් අපි පවත්වාගෙන යනවා. වගකීම් බාර ගැනීමට, සාමූහිකව කටයුතු කිරීමට, සම්භාවනීයත්වය සහ ගෞරවය ආරක්ෂා කර ගැනීමට, ජාත්‍යන්තර ශාන්ත ජෝන් ගිලන්රථ හමුදාවේ සහායත් රැගෙන අපි පවත්වාගෙන යන ගිලානෝපස්ථාන පුහුණුව ආදී කටයුතු ශිෂ්‍ය නායක සංචිතය හරහා දියත් වෙනවා.

අවසරයි ස්වාමීන්වහන්ස, මම මේ මළුවේ රැඳී සිටිද්දී දැක්කා, දරු දැරියන් විශාල පිරිසක් ශාලාවක විවිධ අයුරින් නැටුම් පුහුණු වෙන හැටි ඔවුන් හරිම උනන්දුවෙන් ආසාවෙන් තමයි එහි නියැළී හිටියෙ.

ළඟ එන දුරුතු පෙරහර වෙනුවෙන් ඔවුන් පෙරහුරුවක යෙදී සිටින බවක් තමයි කියැවුණේ. ඒ පිළිබඳව ඔබ වහන්සේගෙන් විස්තරාත්මක තොරතුරක් දැන ගන්නට ඇත්නම් වඩාත් හොඳයි.

මෙහෙමයි ලංකාවෙ තිබෙන ලොකු ම ළමා පෙරහර තමයි අපි දුරුතු පෙරහරට සමගාමීව පවත්වන්නෙ. එය දහම් පාසලේ දැරු දැරියන්ගේ කැපවීම් මත සිදුවෙන්නෙ. එයට දෙමාපියන්ගෙ කැපවීම සහ සහයෝගය අපට විශාල ශක්තියක්.

අපේ සිංහලකමට, ගැමිකමට, අපේ සංස්කෘතියට අදාළ වන අයුරින් පැවැත්වෙන විවිධ නැටුම් වර්ග සහ ඊටත් අමතරව ගොයම් නැටුම්, ලී කෙළි, කළ ගෙඩි, වෙස් නැටුම් සහ නව නිර්මාණ ආදියෙන් ද මේ පෙරහර සමන්විතයි.

මේ සියලු කටයුතු නොපිරිහෙළා ඉටුවන්නෙ ප්‍රධාන වශයෙන් ම අපේ දහම් පාසල් දරුවන්ගෙන්. ශිෂ්‍ය නායක නායිකාවන්ගේ ද මූලිකත්වය ඇතුළුව හැටකට ආසන්න අලි ඇතුන් පිරිසක් සහ හැත්තෑවකට ආසන්න උඩරට - පහතරට - සබරගමු සහ දමිළ සම්ප්‍රදායයෙන් නර්තන ශිල්පීන්ගෙන්ද දුරුතු පෙරහර නියෝජනය වෙනවා.

ඔක්තෝබර් මාසෙ 21 වැනිදා සිට ජනවාරි මාසෙ 02 වැනිදා දක්වා සෑම හැන්දෑවකම ධර්ම දේශනා පවත්වනවා. ජනවාරි 03, 04 සහ 05 යන දිනවල සියලු සංස්කෘතික චාරිත්‍ර ලක්ෂණ ආරක්ෂා කරගෙන තුන් තිස් පැයේ පවත්වන මහා පරිත්‍රාණ ධර්ම දේශනාව.

ජනවාරි 06 වැනිදා පිරිත්වල අවසාන අංගය තමයි දොරකඩ අස්න සහ දේව දූත පෙරහැර. එයින් ගම්‍ය වෙන්නෙ විශ්වයේ සියලු දෙවි දේවතාවුන්ට පින් අනුමෝදන් කිරීම. දොරකඩ අස්න කියන දරුවාට ඉතාම අලංකාරව දේව දූතයෙක් මෙන් සරසවලා අලංකාර පෙරහරකින් කිලෝ මීටර් හතක් පමණ ගම වටා සක්මන් කරවලා තමයි ඒ කටයුතු ඒ ඒ ආකාරයට සිදු කරන්නෙ.

ජනවාරි 07 වැනිදා උඩ මළුවේ පෙරහර. ජනවාරි 08 වැනිදා දෙවන මළුවේ වීදි පෙරහර. ජනවාරි 09 වැනිදා දුරුතු මහා පෙරහර. මේ පෙරහැර අංග පහකින් යුතු වෙනවා. ධාතු පෙරහැර, විෂ්ණු දේවාල පෙරහර, කතරගම දෙවිඳු පෙරහැර, විභීෂණ දෙවිඳු පෙරහැර සහ මණිඅක්ඛිත දේව පෙරහර ලෙසට.

දැනට මේ පෙරහර පැවැත්වෙන්නෙ 93 වැනි වතාවට. ලංකාවේ විහාර දේවාල සහ සිද්ධස්ථානවල පැවැත්වෙන බෞද්ධ පිංකම් මාලාවල වර්ෂයේ පළමුවැන්න තමයි මේ මහා දුරුතු පෙරහැර. ඒ නිසා ලංකාවේ පෙරහරවල සියලුම අලි ඇත්තු, සියලු ම ප්‍රධාන නර්තන කණ්ඩායම් හැත්තෑවක් පමණ මංගල සම්මත කරුණක් හැටියට සලකළා, ස්ව කැමැත්තෙන් මේ පෙරහැරට සහභාගි වෙනවා. එලෙස පුහුණුව ලබපු දරුවන්ගෙන්, අපේ විහාරස්ථානයට වන්දනාමාලවලට පැමිණෙන මෙරට සහ පිටරට සැදැහැවතුන්ට පවා පිහිට ලබා දී තිබෙනවා. පෙරහර පැවැත්වෙන අවස්ථාවන් හිදී පවා ඔවුන් සාමූහිකව එකතු වෙලා සෞඛ්‍යදාන කටයුතුවල නිරත වෙනවා.

ඇත්තටම, ඒවා තමයි අපේ ජයග්‍රණ.

ඒ වගේම අපේ අපේක්ෂාව තමයි තමන් ජීවත්වෙන නිවාසයට, රටට, දැයට යහපත් දරුවෙක් ගුණගරුක පුරවැසියෙක් බිහි කිරීම.

එයින් ගම්‍ය වෙන අදහස පිළිබඳව තවදුරටත් විස්තර කරන්නේ නම් ස්වාමීන් වහන්ස.

මෙහෙමයි. අපට අවශ්‍ය කරන්නේ හොඳ සහ නරක කියන වචන දෙකෙන් හොඳ දේ ඉතිරි කරගෙන නරක දේ ඉවත් කිරීමයි. සරලව ම කියනව නම් ඒක තමයි දරුවෙක් රටට දීමෙන් අපි හැමෝම බලාපොරොත්තු වෙන්නෙ. මෙහිදී අපි දියත් කරන වැඩපිළිවෙළ තුළ සිදු කරන්නෙ මෙන්න මේ දේවල්.

දානය කියන‍්නෙ දීම. තමන්ගෙ ශක්ති ප්‍රමාණයෙන් අනිත් අයට ශක්තියක් වෙමින් ජීවත් වීම. ඊළඟට ප්‍රිය වචනය. ඒ කියන්නෙ ඉතාම හොඳ සන්නිවේදනයක් තබාගෙන සාර්ථක පුද්ගලයෙක් ලෙස ජීවත් වීම. ඊළගට අර්ථ චරියාව. ඒ කියන්නෙ තමන්ගෙ ජීවන රටාව අනිත් අයටත් තමන්ටත් යහපත්ව, සාර්ථකව හොඳට පෙළ ගස්වා ගැනීම. ඊළඟට සමානාත්මතාව. සියලු මිනිසුන් සමානාත්මතාව තුළින් දකිමින් විවිධත්වය සහිත සමාජය තුළ සාර්ථක පුද්ගලයෙක් හැටියට ජීවත්වෙන්න අවශ්‍ය පුහුණුව තියෙන, බෞද්ධ පසුබිමේ හැදෙන, දැනුමක් නුවණක් පෞරුෂයක් හිමි දරුවෙක් බිහිකිරීම තමයි අපේ මේ ජීව ක්‍රියාදාමයේ අරමුණ.

මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ සියලු කටයුතුවල මූලිකත්වය, නායකත්වය සහ ප්‍රධානත්වය දෙමින් අපි මෙහෙය වන්නේ කැලණිය රජ මහා විහාරයත්, එගොඩ කැලණිය කිත්සිරිමෙවන් රජ මහා විහාරයත්, ජපානයේ හිරෝෂිමා නුවර ‘මෙත්තා’ විහාරයත්. මල්වානේ දෙනගම්පල රජ මහා විහාරය ආදී පූජනීය විහාරස්ථානවල විහාරාධිපති වහන්සේ වන, කැලණිය විශ්වවිද්‍යාලයයේ පාලි සහ බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින්.

“අපේ පනස් වන සංවත්සරයට ආසන්න වෙමින් පවතින මේ අවස්ථාවේදී, මෙතෙක් අපි ආ ගමන්මඟ ගැන අපට ඉතා ම සතුටුවන්න පුළුවන්...”

සැන්දෑ ධර්ම දේශනාවකට සහභාගි විය යුතු හෙයින් ශ්‍රී කැලණි රජ මහා විහාර දහම් පාසලේ විදුහල්පති ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපෙන් ද සමුගෙන ආපසු වැඩියහ.

කැලණි පන්සලේ ධාන්‍යාගාර හැඩය ඇති ධවල වූ දාගැබ් වහන්සේගේ රිදී පැහැ කොත් කැරැල්ල අර ඈතින් සුදිලේ. බෝ පත් සෙමෙන් නැළවේ. මගේ සිත පුලුන් රොදකි. මහත් වූ බැතියෙන් මෙම පූජනීය ස්ථානය වටා පැදකුණු කර ආ කල සිත නිවී සැනහෙයි.

 

පසක් ගෞතම මුනිඳු බුදු වී සාසනේ ලොව පැවතියේ

එසම්පත් ඇති අයත් මරුවා කැටුව යනවා අවදියේ

වසන් ඇති දා කරපු පින්මයි කැටුව යන්නේ පැහැදියේ

උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ

More News »