වෙල්ලස්සට අාවොත් කොටසර වෙහෙරත් වඳින්න

2018-04-02 11:51:00       517
feature-top
උදා හිරුරැස් පතිත අරන්ගල කඳු සිරසින් දුහුල් වලාවන් ඈත් මෑත් ව යන්නේ සෙෙමනි. ගල්ඔය ද ඊට ‍නො දෙවෙනි ලැසි ගමනකින් බැස යයි. මේ නිහැඬියාව බිඳින එකම කරුණ වන්නේ රමණීය කෙත්යාය ඔබ්බෙන් වු වන වදුලු අතර හිඳ මොනරුන් ආදී පක්ෂින් වරින් වර නංවන කූජනය පමණී. දැහැනට සම වැදුණු යතිවරයන්ට වෙන්වූ කොටසර වෙහෙර සිත නිවන පුදබිමකට කදිම තෝතැන්නකි.

ඌව පළාතේ බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මල්ලැහැව ගම් පියසේ මේ පුණ්‍ය භූමිය පිහිටා ඇත. ඉතා දිගු ඉතිහාසයක් මෙම විහාරස්ථානයට ඇත. කොටසර විහාරය ගැන නොදන්නවුන් පවා මෙම පුදබිම හා සම්බන්ධ ප්‍රසිද්ධ ජනප්‍රවාදය අසා ඇති බව නිසැක ය.

එයට අනුව මහා ථූපයක් බැඳීමේ අරමුණින් යුතු වූ දුටුගැමුණු රජු රුවන්මැලි සෑය නිමකිරීමේ කර්මාන්තයට දායකවූ සියලු දෙනාට ගෙවීම් කළේ ය. එදවස කොටසර විහාරයෙහි වාසය කළ භික්ෂුවකට මහාසෑය ඉදිකිරීමේ විහාර කර්මාන්තයට දායකවීමේ සිතක් ඇති විය. මේ සිදුවීම ථූපවංශයේ සඳහන් කරන්නේ මෙසේ ය.

'කොටසර විහාරයෙහි වැඩ වසන එක් තෙර කෙනෙකුන් දාගැබ බඳිනා උන් වඩුවාට කුලුපග සේක. උන්වහන්සේ එක් අතකින් රජ්ජුරුවන්ගේ උළක් ද (ගඩොළක්) එක් අතකින් මල් මිටක්ද ගෙන තමන් වහන්සේගේ උළ (ගඩොළ) හා එක්කොට මහා දාගැබ් කර්මාන්තය සඳහා වඩුවාට දුන්සේක.'

භික්ෂුවක් සිය ශ්‍රමය යොදවා සකස් කළ ගඩොළු කැටයක් වෙහෙරට පූජා කළ බව දැනගත් රජ එයට ගෙවීමක් කිරීමට උපායක් යෙදවී ය. කොටසර වාසය කළ භික්ෂුව මෙම උපක්‍රමය ගැන දැන සිටි නිසා උන්වහන්සේ අනුරාධපුර සිට එකවර වෙල්ලස්සට වැඩම නො කොට වෙනත් දුර බැහැර මාර්ගයක් ඔස්සේ ගමන් කරන්නට වූයේ තමන් ලුහුබඳින චරපුරුෂයන් නො මඟ යැවීමේ අරමුණිනි.

තමන් වාසය කරන තැන අන්‍යයන්ට වසං කිරීම සඳහා පිටමං ඔස්සේ ගමන් කිරීමේ සිරිත සිංහලයන් අනුගමනය කළ බවට ප්‍රකටව ඇත්තේ කෝට්ටේ යුගයේදී ය. ‘පරංගියා කෝට්ටේ ගියා වගේ’ යන පිරුළ භාවිතයට එන්නට යුග කිහිපයකට පෙර ඌවේ වැසියෝ වරක් දෙවරක් නොව කිහිප විටක් අත්හදා බලා ඇති බව මේ ජනප්‍රවාද විමසන විට පෙනෙයි.

කොටසර වෙහෙර රුවන්මැලිසෑයට වඩා පැරණි පුදබිමක් බව මේ අනුව කියැවේ. වෙල්ලස්ස, බින්තැන්න සහ මඩකලපුව තෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක, කොටසර පියන්ගල රජමහා විහාරාධිපති බදුල්ලගම්මන ගුණරතන හිමියන් එම ඉතිහාසය විස්තර කර සිටියේ මෙසේය. 'රුහුණු ප්‍රදේශය පුරා වෙහෙර විහාර ගොඩනංවමින් ආගමික ප්‍රබෝධයකට කටයුතු කළ දේවානම් පියතිස්ස රජු යොදුනක් යොදුනක් පාසා චෛත්‍යය ඉදිකළා. වෙල්ලස්සේ චෛත්‍යය ඉදිකළේ මෙම ස්ථානයේ. ඒ නිසා මෙ‍ම ස්ථූපය යෝජන ථූපය නමින් හඳුන්වනවා. කලින් කල ලක්දිව රාජ්‍ය කළ විවිධ රජවරු මෙම ථූපය පිළිසකර කළ බව මහාවංශයේ සඳහන් වෙනවා.'

කොටසර වෙහෙර ලෙස අප කෙටියෙන් නම්කලද මෙම පුදබිම හඳුන්වනු ලබන්නේ ‘කොටසර පියංගල රජමහා විහාරය’ යනුවෙනි. පියංගල යනුවෙන් නූතනයේ කටවහරට පැමිණ ඇත්තේ පධානඝරය යන්නයි. ආරණ්‍ය සේනාසනවාසී භික්ෂුන් අතීතයේ මෙම ස්ථානයේ වැඩසිටි බවට විහාරස්ථානය වටා තැනින් තැන විසිර ඇති සාධක බොහෝය.

ඒ අතරින් ප්‍රධාන පුරාවිද්‍යාත්මක සාධකයක් ලෙස මහල් කිහිපයකින් යුත් ප්‍රාසාදය ඉතිරිව ඇති නටබුන් දැක්විය හැකි ය. මේ නටබුන් මඟින් විශාල ඉදිකිරීමක් අතීතයේ මෙම ස්ථානයේ තිබූ බව උපකල්පනය කළ හැකි ය.

මෙම සාධක පැරැණි දළදා මාලිගාවක නටබුන් බවට විශ්වාසයක් පවතී. රාජ්‍යත්වයේ සංකේතය වන ශ්‍රී දළදා වහන්සේ සොලි ආක්‍රමණිකයන්ගෙන් බේරාගැනීම සඳහා පොෙලාන්නරු යුගයේදී ඌවට රැගෙන ආ බවට වංශ කතාවල සඳහන් වේ. අතීතයේ සුගලා දේවිය විසින් වෙල්ලස්සට වැඩම වූ දළදා වහන්සේ වඩා හිඳවු විහාරය කොටසර විහාරය බවට විශ්වාස කළ හැකි සාධක රැසකි. ගල් කණු, තුඩපත් ආදී ඓතිහාසික සාධකයන්ට අමතරව විහාරස්ථානය අවට ග්‍රාම නාමයන්ද මේ බව සනාථ කරවයි.

කොටසර රජමහා විහාරවාසි මල්ලැහැවේ නන්දරතන හිමි ඒ ගැන මෙසේ පවසයි. ‘ඌවට පලා ආ සුගලා දේවිය මැදගම කඳවුරු ලාගෙන දළදා වහන්සේ වඩා හිඳුවන්න සුදුසු තැනක් සෙව්වා. කඳු පන්තියකින් වටව තිබෙන ස්ථානයක් නිසා මේ තැන තෝරාගන්නට ඇති කියලා විශ්වාස කරනවා. මේ ගල් කඩා ගෙනැවිත් තියෙන්නේ එහා පැත්තේ තියෙන කන්දෙන්. එතැන සිට එකවර දුර බැහැර මාර්ගයක් ඔස්සේ මෙතැනට ඇවිත් තියෙන්නේ දළදා වහන­්සේගේ ආරක්ෂාවට.’

මල්ලැහැවේ නන්දරතන හිමියන්, සුගලාව දළදා රැගෙන ගමන් කළ මාර්ගය ඈත කඳු මුදුනක් දෙසට අත දික්කර පෙන්වන අතර කියා සිටියි.

'මේ ස්ථානයේ විහාර කර්මාන්තය සඳහා බිම සකස් කෙරෙන තුරු විහාරස්ථානය සමීපයේ තැනක ගොඩගසා තිබුණා. ඒ තැනට අදටත් කියන්නේ ‘කණුලෑව’ කියලා.' උන්වහන්සේ වැ‍ඩිදුරටත් පැහැදිලි කරයි. කොටසර වෙහෙර අයත් මල්ලැහැව ග්‍රාමය පසුකර මැද දුරක් ගිය විට 'කණුලෑව ගම' හමුවෙයි.

දළදා වහන්සේ මෙම රජමහා විහාරයේ වඩා හිඳුවන විට උන්වහන්සේට පූජා කිරීම සඳහා මල් නෙළා ගනු ලැබුවේ විහාරස්ථානයට සමීපයේ ඇති මහලිප්පොත වැවෙන් බව ගම්වාසීහූ පවසති. වංශකතාවල ‘මහලිප්පොත විල’ යනුවෙන් හඳුන්වා ඇත්තේ මෙම වැව බව ඔවුහු පෙන්වා දෙති.

මෙම පුරාවෘත්තය හා බැඳුණ තවත් ග්‍රාම නාමයක් ගැන උන්වහන්සේ පැහැදිලි කර සිටියේ මෙසේය. ‘දළදා මාලිගාවේ උඩ මළුව හා පහළ මළුව නමින් මහල් දෙකක් තිබී තියෙනවා. ඉහළ මළුවට මල් පූජා කළ අය ජීවත්වූ ප්‍රදේශය ඉහළ මල්ලැහැව නමින් හා පහළ මළුවට මල් පූජා කළ උදවිය සිටි ප්‍රදේශය පහළ මල්ලැහැව නමින් හඳුන්වනවා.’

මල්ලැහැව ග්‍රාමය දෙපසට කර ඒ මැදින් ගලා බසින්නේ බත්ගල ඔයයි. එය ගලා බසින්නේ දොරපොත කන්දේ සිට ය. ඌවේ වැසියෝ මෙම ඔය ‘ගල ඔය' නමින්ද හඳුන්වති. ඌවේ වැසියන්ගේ උච්චාරණය අනුව ‘ගල ඔය' යනුවෙන් හඳන්වන මෙම ඔය අප කාටත් හුරු පරිදි ගල්ඔයේ ළදරු අවස්ථාවයි.

මෙම පුදබිමෙන් අනුරාධපුර, පොලොන්නරු, මහනුවර යන ඓතිහාසික අවධීන් තුනකට අයත් වූවත් දැනට පුරා විද්‍යාත්මක සාධක හමුවන්නේ පොළොන්නරු හා මහනුවර යුගයට අදාළව පමණි. අනුරාධපුර යුගයේ විහාර කර්මාන්තය ගල් කණුවලට පමණක් ඉතිරිව ඇතත් නුවර යුගය තවමත් ආරක්ෂාව ඇත.

මහනුවර යුගයේ ගෘහ නිර්මාණ ශිල්පයේ විශේෂතාවන් හදාරන ඒ සියල්ල එක්කළ කෞතුකාගාරයක් ලෙස මෙම ස්ථානය හැඳින්වුවහොත් එය පුදුමයට කරුණක් නොවේ.

නුවර යුගයට අයත් විහාර කර්මාන්තයන්ගෙන් ටැම්පිට විහාරය ප්‍රධාන ය. ටැම්පිට විහාර ඉදිකිරීම නුවර යුගයේ අනන්‍යතාවක් වෙති. ඒ ගැන අදහස් දක්වන සමහර උගතුන් ප්‍රකාශ කරන්නෙ නුවර යුගය වන විට කිසියම් වේයන් විශේෂයකගෙන් බිතුසිතුවම්වලට හානි සිදුවීම නිසා පිළිම වහන්සේලා ආරක්ෂා කර ගැනීමට විහාර ගෙවල් ටැම් නැතහොත් ගල්මත ඉදිකළ බවයි.

කොටසර ටැම්පිට විහාරය හා සංඝාවාසය ඉදිකර ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු ය. මේ රජු බුද්ධ සාසනයේ චිරස්ථිතියට අපමණ මෙහෙයක් ඉටු කළ රජ කෙනෙක් ලෙස සුවිශේෂ ස්ථානයක් ගන්නා නරපතියෙකි.

භූමිය සකස් කිරීමෙන් පසු ගල්කණු මත ලෑලි අතුරා ටැම්පිටි විහාරය ඉදිකිරීම සිදු කරනු ලබයි. කොටසර ටැම්පිට විහාරයේ සුවිශේෂත්වය වන්නේ බුදු කුටියට ඇතුළුවීම සඳහා එකම දිශාවට විහිදුණු

දොරටු පහක් පසුකර යා යුතු ය. ටැම්පිට විහාරයේ ප්‍රවේශ මණ්ඩපයේ මණ්ඩල කුරුප්පාව නම් සුවිශේෂ නිර්මාණය දැක ගත හැකි ය. එය හමුවන්නේ ආරම්භයේම වූ දැවමය දොරටුවෙන් ඇතුළුවීමත් සමඟ ය. ඉන්පසු ගල් උළුවස්සක ද, නැවත මැටි ආරුක්කුවක් සහිත ලී උළුවස්සක් ද, නැවතත් දැව උළුවස්ස ද එය පසු කළ විට තනි ලීයෙන් කළ උළුවස්සක් ද හමුවේ.

ටැම්පිට විහාරයේ අලංකාර මකර තොරණක් ඇති අතර එය නුවර යුගයේ වූ අනෙකුත් විහාරස්ථානවල දැකගත හැකි තොරණට වඩා වර්ණ සංයෝජනයෙන් වෙනස් ය.

විහාරස්ථානයේ වූ බිතු සිතුවම් මෙන් ම බුද්ධ ප්‍රතිමා ද තවමත් මුල් ස්වරූපයෙන් ම ආරක්ෂිතව තිබීම භාග්‍යයකි. කොටසර විහාරස්ථානයේ අනෙක් වැදගත් විහාර අංගය වන්නේ මහනුවර යුගයට අයත් මැද මිදුල දෙකක් සහිත සංඝාවාසයයි. මෙය ද ඉදි කර ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු ය. වාස්තු කර්මාන්තයේදී ආරක්ෂා විය යුතු යැයි පැරැණියන් විශ්වාස කළ අංග නමයම මෙම ඉදිකිරීම් තුළ ආරක්ෂා කිරීමට කටයුතු කර ඇත.

කොටසර පියන්ගල රජමහා විහාරය මල්වතු විහාරයේ භික්ෂූන්ගේ ඉපැරැණි විහාර පරම්පරාවක් නියෝජනය කරන මූලස්ථානයකි. අතීතයේ මේ විහාරස්ථානය මඟින් පාලනය වූ වෙනත් පන්සල් 80ක් පමණ පැවැති බව ජනප්‍රවාදයේ එයි.

ප්‍රාදේශීය විහාරස්ථානයන්ගෙන් විවිධ ශාසනික කටයුතු සඳහා කොටස් විහාරස්ථානයට පැමිණෙන භික්ෂූන් වෙනුවෙන් බදුලුගම්මන ගෙය, කොටගම ගෙය, බිබිලමුල්ල ගෙය, තල ගේ, අරමුදල් ගෙය, මහලැගුම් ගේ, කලුගෙය, බුත්තල ගෙය, වලව් ගේ, පැණිගේ යනුවෙන් කාමර කිහිපයක් ඇත. කලුගේ නමින් හැඳින්වෙන ගෙය විශේෂිත කාමරයකි. භික්ෂූන් අතින් වන යම් යම් කුඩා වැරැදිවලට දඬුවම් ලෙස මෙම කාමරයේ රඳවා තැබූ බවට විශ්වාසයක් ඇත.

කලු ගෙය සමීපයේම තවත් රහස් කුටියක් ඇත. එයට පිවිසෙන දොරටුව පිටතින් දැකගත නො හැකි ය. ටැම්පිට විහාරයේ මෙන් ම මෙම සංඝාවාස ගොඩනැගිල්ලේ වූ සෑම දොරක්ම තනි ලෑල්ලෙන් කර ඇත. උළුවහු පමණක් නොව යට ලී පවා කැටයම් කර තිබීමෙන් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේදී කෙතරම් සූක්ෂ­්මතාවකින් ලියකම් කර තිබෙන්නේද යන්න තහවුරු වෙයි.

විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ ඉමහත් කැපවීම නිසා රජමහා වෙහෙර තවමත් මුල් ස්වරූපයෙන් සුරැකිව ඇත. එය අනාගත පරම්පරාව වෙනුවෙන් සුරක්ෂිත කිරීමට වගකිව යුත්තන්ගේ අනුග්‍රහය ලැබිය යුතුය.


More News »