දෙගල්දොරුව

2018-03-23 11:30:00       517
feature-top
දෙගල්දොරුව සිංහල රාජාවලියේ අවසාන රජු ලෙස සැළකෙන කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු විසින් කරවන ලද විහාරයකි. නුවර යුගයට අයත් දෙගල්දොරුව විහාරයේ බිතු සිතුවම් වලට ලක්දිව කලා ඉතිහාසයේ විශේෂ තැනක් හිමිවේ. මෙහි සිතුවම් වඩාත් වැදගත් වන්නේ දෙවරගම්පල සිල්වන් තැන නැමති යතිවරයෙකු විසින් කරවන ලද සිතුවම් ද දැක ගැනීමට තිබීමයි. උන් වහන්සේට මෙම කලා කර්මාන්තය නිම කිරීම සඳහා නීලගම පටබැන්දා, නීලගම පාන බණ්ඩා, කොස්වත්තේ නයිදේ සහ දේවේන්ද්‍ර මූලාචාරීන් නැමති කලා කරුවන්ගේ ද සහාය ලැබුණු බව පොත පතේ සඳහන් වේ.මෙහි විහාර ගෙය ගල් ලෙනකි. ඊට පිටින් ඇත්තේ ගල් කණු 20 ක් යොදා සාදන ලද බරාඳයකි. බරාඳයේ සීීලිම ලෑලිවලින් නිම කර රෙදිවල අඳින ලද සිතුවම් අලවා අලංකාර කර තිබේ. සීලිමෙහි බහුලවම දක්නට ලැබෙන්නේ නෙළුම් පෙති මෝස්තර සහ ජ්‍යාමිතික රටා ඇසුරින් නිර්මාණය කරන ලද මෝස්තරයන්ය. විහාර ගෙයි ඇති චිත‍්‍ර අතර වෙස්සන්තර ජාතකය, ක්ෂාන්තිවාදී ජාතකය, සුතසෝම ජාතකය, මාර පරාජය, ආලවක දමනය, සූවිසි විවරණය, තව්තිසා දෙව්ලොව, සොළොස්මස්ථානය, ආදියයි. මෙයින් වඩාත් වැදගත් සිතුවමක් ලෙස සළකන්නේ නීලගම පාත බණ්ඩා විසින් අඳින ලදැයි සැළකෙන අවස්ථා 27 ක් නිරූපිතව ඇති වෙස්සන්තර ජාතකයයි. වෙස්සන්තර ජාතක චිත‍්‍රාවලියේ ඇති විශේෂ ලක්ෂණය නම් නුවර පෙරහැරේ ගති ලක්ෂණ මෙම සිතුවමේ අදහස් ප‍්‍රකාශ කිරීම සඳහා මැනවින් යොදා ගෙන තිබීමය. මෙහි චිත‍්‍ර නැරඹීම තුළින් එකල ජීවත් වූ විවිධ තරාතිරමේ ගැහැණුන්ගේ ඇඳුම් පැළඳුම් ආභරණ සහ පොදු සමාජ සිරිත් ගැනද කිසියම් අවබෝධයක් ලබාගත හැකිය.

මධ්‍ය කාලීන යුගයේ සිතුවම් අතර දෙගල්දොරුව, මැදවල, බඹරගල යන විහාරස්ථානවල සිතුවම් සේම පිළිකුත්තුව, වැලිහිඳ, යාපහුව, තෙල්වත්ත, සූරියගොඩ, යන විහාරවල සිතුවම්ද වැදගත් වේ.මෙම විහාරවල සිතුවම් අදින සමහර සිත්තරුන් බෞද්ධාගමික පරිසරයට නුසුදුසු යැයි බහුතරයක් සළකන නිරුවත් ඡායාරූපයන් පවා තම සිතුවම් වලට යොදා ගෙන තිබෙනු දැකිය හැකිය. බොහෝ අවස්ථාවලදී කටු ඉඹුලේ පුවත දැක්වීමට නිරුවත යොදා ගෙන ඇත. යාපහුව රජමහා විහාරයේ ඇති චිත‍්‍රයක සළුවලින් වැසූ මහාමායා දේවියගේ කුසින් සිදුහත් කුමරුගේ පාදයක් පිටතට එන අන්දම නිරූපණය කළ ශිල්පියා පිළිකුත්තුව රජමහා විහාරයේ සිතුවම් වල වෙස්සන්තර රජුට අන්දවා ඇත්තේ යුරෝපීය ඇඳුම්ය. එහිම බිසව බෝසත් සහ හැට්ටයක් ඇඳගෙන සිටින අන්දම නිරූපණය කර තිබේ.මෙවැනි කලා නිර්මාණ දෙස බැලීමේදී කලා කුසලතාවය පමණක් නොව තමා ජීවත්වන සමාජයට අනුවර්තනය වීමට තරම් විවෘත මනසක් සහ එඩිතර භාවයක් ඇතිව පොදු මහජනයා වෙත ස්වකීය වින්දනය සම්පෙ‍්‍ර්ෂණය කිරීම අවංක කාර්ය භාරයක් යැයි සිතූ කලා කරුවන්ගේ නිර්මාණ ලෙස සැළකීම ඔවුනට කරන ගෞරවයකි.


උපුටා ගැනීම දැනුම පුවත්පත ඇසුරෙනි

More News »