ලක්බිමේ කළු ගලින් නෙලූ උසම බුදු පිළිමය

2018-03-19 11:07:00       517
feature-top
ශ්‍රී ලංකාවේ කළු ගලක නෙලන ලද උසම බුද්ධ ප්‍රතිමාව ඇත්තේ කොහේදැයි යමෙකු ඇසුවහොත් ඊට පිළිතුරු දීමට බොහෝ දෙනෙක් අසමත් වනු නිසැකය. එහෙත් ඊට දිය හැකි ඉතා පැහැදිළිම පිළිතුර වනුයේ එය ඌව පළාතේ බුදුරුවගල නම් ස්ථානයේ පිහිටා ඇති බවය.

වැල්ලවායේ සිට තිස්සමහාරාම පාර ඔස්සේ කිලෝමීටර් 04ක දුරක් ගිය විට හමුවන බුදුරුවගල විදුහල අද්දරින් හැරී යන අතුරු මාර්ගය ඔස්සේ තවත් කිලෝමීටර් 03 ක් පසුකළ විට හමුවන්නේ තුරුළිය වලින් යුතු නිස්කලංක, වනගත වටපිටාවකි. එහි අඩි 70 ක් පමණ දික්වූ කළු ගල් පර්වතයක නෙලා ඇති ප්‍රතිමා 07 ක් දැකගත හැක. එහි අඩි 51 ක් පමණ උස කළු ගලින් මතුකරගන්නා ලද බුද්ධ ප්‍රතිමාවක් දක්නට ලැබෙන අතර එහි දෙපස තවත් ප්‍රතිමා 03 බැගින් දක්නට තිබේ. එහි දකුණු පසින් අවලෝකතේශ්වර බෝසතුන් එතුමන් ගේ ප්‍රියම්බිකාව වන තාරා දේවී සහ තවත් බෝධි සත්වයෙකු බව පැවසෙන සුධන කුමරුගේ මූර්ති නිමවා අති අතර එහි වම්පසින් මෛත්‍රී සහ වජිරපානී යන බෝසත් රූප සමඟ මෙතෙක් හඳුනාගත නොහැකි තවත් රූපයක් නිමවා තිබේ. ඊට අමතරව භික්ෂූන් වහන්සේලා විශාල සංඛ්‍යාවක් සිටි බවට සැක කෙරෙන සංඝාරාමයක නටබුන් සහ එම ආරාමයේ භික්ෂූන්වහන්සේලා සිසිල් පැන් ස්නානය කළ බව සැකකෙරෙන වැවක් ද දැකිය හැක.

ක්‍රි.ව 07,08,09 සියවස් වල ශ්‍රී ලංකාවේ පැතිරගොස් තිබූ මහායාන බුදුසමය පිළිබඳව සජීවීමත්  සාක්ෂි සමුදායක් ලෙස ගත හැකි මෙය ශ්‍රී ලංකාවේ ප්‍රතිමා කලාවේ වැදගත් සලකුණක් පළ කරන්නක් බවද නිසැකය. විශේෂයෙන් කළු ගලේ නෙරා ඇති කොටස් උපරිම ලෙස භාවිතයට ගනිමින් නිර්මාණ ශිල්පීන් මෙම ශිලා කර්මාන්තය කොට ඇති බව පැහැදිළිය. මෙම බුදුරුවගල නිමැවුම් අතර පවතින තවත් විශේෂ ලක්ෂණයක් වනුයේ එම බුද්ධ ප්‍රතිමා වල අසම්පූර්ණ ස්ථාන කිසියම් බදාමයකින් වසා තිබීමය.

 එමෙන්ම අතීතයේ මෙම ගල්පර්වතය රන් රිදී පැහැයන් ඇතුළු පැහැයන්ගෙන් වර්ණ ගන්වා තිබූ බවටද සාක්ෂි දක්නට ලැබේ.

කෙසේ හෝ පසුකාලීන අනුරාධපුර යුගයේ  අප රට පුරා පැතිර තිබූ මහායාන බුදු දහමේ ව්‍යාප්තිය මනාව පෙන්නුම් කෙරෙන මෙම බුදුරුවගල ප්‍රතිමා සමූහය මෙරට ඉතිහාසය, පුරාවිද්‍යාව, මූර්ති කලාව පිළිබඳ උනන්දුවක් පළ කරන සැමගේ අවධානයට නිසැක ලෙසම ලක්විය යුතු බව නොපැකිළවම කිව යුතුය.


උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි

More News »