බැති සිතින් වැඳගමු සඳගල්පායේ වෙහෙර

2018-01-29 10:11:00       0
feature-top
ක්‍රිස්‌තු පූර්ව 250-210 කාලයේ සැදැහැවත් බෞද්ධයින් විසින් බුදුන් වහන්සේ වෙනුවෙන් පුද පූජා පැවැත්වීම සඳහා මුල්වරට යොදා ගත් සංකේත කිහිපයක්‌ අතුරින් සිරිපතුල, ධර්මාසනය, බෝධිය, ස්‌ථූපය පූජනීය වස්‌තු අතරින් ප්‍රධාන තැනක්‌ ගනී.

මිහිඳු මා හිමියන්ගේ උපදෙස්‌ අනුව ලක්‌දිව ඉදි කළ පළමු ස්‌ථූපය වන්නේ අනුරාධපූර ථූපාරාම දාගැබයි. එම දා ගැබ ධාන්‍යාකාර හැඩයෙන් යුක්‌තව තිබි ඇති අතර 1842 වර්ෂයේදී කළ ප්‍රතිසංස්‌කරණයේදී ඝණ්‌ඨාකාර හැඩයෙන් ථූපාරාම දාගැබ ඉදිකර තිබේ.

pan2ස්‌ථූපයක අංග හා එහි අරුත වශයෙන් පදනම ශ්‍රද්ධාව ලෙසත්, පේසා වළලු ත්‍රිවිධ රත්නය ලෙසත්, සතරැස්‌ කොටුව චතුරාර්ය සත්‍ය ලෙසත් කොත් කැරැල්ල නව ලොව්තුරා දහම ලෙසත් කොත නිර්වාණය ලෙසත් හැඳින්වේ.

ලක්‌දිව තිබෙන ස්‌ථූප වර්ග මෙසේ හැඳින් විය හැක. ධාන්‍යාකාර (කැලණිය) බුබ්බුලාකාර (රුවන්වැලි) ඝණ්‌ඨාකාර (ථූපාරාමය) අම්ලාකාර (ලක්‌දිව නැත) ඝටාකාරය (ලක්‌දිව නැත) පද්මාකරය (දැදිගම සූතිඝර චෛත්‍යය ලෙසය.

කැලණිය චෛත්‍යය හැරුණු කොට ධාන්‍යාකාර හැඩයෙන් යුක්‌ත දේවානම් පියතිස්‌ස මහ රජතුමන් විසින් ඉදි කරවන ලද බෞද්ධ ජනයා අතර ප්‍රසිද්ධ නොවූ චෛත්‍යයක්‌ රජරට ඇත. එනම් කැකිරාව, මාණිකන් කුලම, සඳගල්පාය රජමහා විහාරස්‌ථානයේ ඇති චෛත්‍යයයි.

රජවරුන්ගේ පුණ්‍ය භූමිය හෙවත් රජවරු බිහි වුණේ රජරට බැවින් වැව් ගිරි රජරට ධන ඝරයක්‌ (ධාන්‍යවලින් පිරි රටක්‌) ලෙස හඳුන්වා තිබේ. ඒ සනිටුහන් කිරීම නිමිති කර ගෙන සඳගල්පායේ ධාන්‍යාකාර චෛත්‍යය නිර්මාණය කර තිබේ.

මැණික්‌ කරඬුවක්‌ සාදා එහි ධාතුන් පිහිටුවලා පිහිටි ගලයට ගිල්වලා එම ස්‌ථානය සනිටුහන් කිරීමට කඳුමුදුනේ ගල්තලාවක්‌ මත සිරිපතුල නිර්මාණය කිරීම නිසා සඳගල්පාය පන්සල පිහිටි ප්‍රදේශය මාණිකන්කුලම ලෙස හැඳින් වූ බව ඉතිහාසයේ සඳහන්.......

සඳ කිරණෙන් පාෂාණ හෙවත් කන්ද ආලෝකවත් වී සිසිල් වී ශීල සුගන්ධයෙන් මහ රහතන් වහන්සේලාට සිසිල සැනසිල්ල ලබා දුන් නිසා මෙම පුණ්‍ය භූමිය සඳගල්පාය ලෙස හඳුන්වා තිබේ.

සූර්ය උදාවෙන් පසුව සූර්යා මුදුන් වන විට තේජස වැඩි වී ගෞතම බුදුන් වහන්සේගේ ආර්ය සත්‍යය වැටහෙන කොට දේවානම් පියතිස්‌ස මහ රජතුමන්ට සද්ධාව වැඩි වී මිහිඳු හිමියන්ගේ උපදෙස්‌ අනුව ගමින් ගමට පන්සල් ඉදි කළ බව ඉතිහාසයේ සඳහන්.

සඳගල්පාය චෛත්‍යයේ ධාතුන් වහන්සේලා තැන්පත් කර තිබෙන අතර අපවත් වී වදාළ කෝන්වැවේ ගුණරතන හිමි, තෙල්හිරියාවේ සිද්ධාර්ථ හිමි සහ උඩ්ඩියන්කුලමේ ධීරානන්ද නායක හාමුදුරුවන් පෙර දවසේ ගරා වැටී තිබුණ චෛත්‍යය සෑදීමට උරදී කටයුතු කර තිබේ.

සඳගල්පාය රජමහා විහාරාධිපති - ඔලොම්බෑවේ රතනපාල හිමි "දැනට හැත්තෑතුන් පරම්පරාවක්‌ පාරම්පරිකව පැවැත එන රාජ රාජ මහ අමාත්‍යවරුන්ගේ පුද පූජා ලබා එදා රජවරුන්ගේ ගෞරවයෙන් පුද ලැබූ පරුමුක (වංශවත් පරම්පරාවක්‌) ඉදිකළ අපේ පන්සලේ ශිලා ලිපි මැකී යැමට පටන් ගෙන තිබෙනවා. චෛත්‍ය භූමියේ ආරක්‍ෂිත ගල් බැම්ම විනාශ වෙලා. පස්‌වලට යට වී තිබෙන පුරා වස්‌තු කොපමණ ද කියලා කියන්න බැහැ. සඳගල්පාය පන්සල දියුණු කරන්න සැදැහැවත් බෞද්ධයින්ගේ උදවු උපකාර අවශ්‍යයි.

සඳගල්පාය කැලණි විහාරය හැරුණු කොට ඇති එකම ධාන්‍යාකාර හැඩය ඇති චෛත්‍යයයි. සඳගල්පාය විහාරස්‌ථානය වැඩි දියුණු කර ඓතිහාසික බව ආරක්‍ෂා කර ලක්‌ දනන්ගේ පුද පූජාවට අවස්‌ථාව උදා කරදීම පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ යුතුකමකි.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »