ඓතිහාසික විහාරහින්න මහාවිහාර පුදබිම

2018-01-10 10:50:00       104
feature-top
මද්දහනේ සැඩ හිරු රැස් පහව යමින් තිබූ ඒ සැඳෑ යාමයේ අප නඩය විහාරහින්න බලා දිවෙන බොරළු ඇතිරූ මාර්ගයට අවතීර්ණ වූයේ පයින්ම ඒ ඓතිහාසික පුදබිම බලා යන අටියෙනි. පයින් ගමන තරමක් වෙහෙසකර වුවත් අවට පරිසරය රසවිඳිමින් අලුත් අත්දැකීමක මිහිර විඳගැන්ම අප කාගේත් අභිප්‍රාය විය. අපේ ගමන විහාරහින්න පෙදෙසට ළඟාවෙමින් රූස්ස ගස් හෙවනින් ගැවසී ගත් මහවැවවැව්කණ්ඩියට සැපත් වන විට හමා ආ සිහිල් සුළං රැළි ගමන් විඩාව සන්සිඳුවාලීය.

“විහාරහින්න බලන්න‍ටදැ”යි ඇසූ ගම්වැසියෙකුට අපේ අදහස පැවසූ විට ඔහු කියා සිටියේ ඉක්මනින් ආපසු පැමිණිම හොඳ බවය. “මේ දවස් වල අලි එනව නිතරම. හවසට එහා පැත්තෙ වැවට බහිනව වතුර බොන්න. ඒ නිසා රෑ වෙන්න කලින් ආපසු එන එක තමා හොඳ.” ඔහුගේ ඒ වදනින් අපට බියක් කෙසේ වෙතත් අලි බැලීමේ අලුත් බලාපොරොත්තුවක්ද ඇති විණි.

වැව්කණ්ඩිය මතින් වැටුණු මග දිගේ පා ගමනින් යන අපට දකුණතින් කිරිවැදෙන ගොයමද වම්පසින් නියං රකුසාට බිලිව සි‍ඳෙමින් පැවති වැවද දිස් වේ. වැව් දියකඳ සි‍ඳෙමින් පැවති බැවින් කොකාගේ වාරය එළඹ ඇත්තේය. දැන් එය කොකාගේ පමණක් නොව මසුන් මරන ධීවරයන්ගේද වාරය බවට පත්ව ඇත. සි‍ඳෙමින් පවතින දියෙහි යන එන මං නැති මාළුන්ගේ අතීත අකුසල කර්ම සියතට ගැනීමට වෙර දරන මසුන් මරන්නෙක් වැව් පිටියේ මඩුවක් ගසා ගෙන එහි පදිංචියට ගොසිනි. ඒ අකුසලය සිහි නොකරන ලෞකික දෙනෙතට නම් එය සැඳෑ භාගයේ මනරම් දසුන් පෙළකි.

වැව්කණ්ඩියෙන් මෑත්ව යළිත් ගම්මානයට පිවිස එය පසුකරමින් පුරාවිද්‍යා රක්ෂිතය අසලට පිවිසියෙමු. මාර්ගය දෙකට බෙදී වම්පසට එක මඟක් හැරෙයි. අනෙක් මඟ ඉදිරියට ගොස් දකුණට හැරෙයි. ඒ මාර්ගයන්ගෙන් ඔබ ඇත්තේ අලි වැටකි. ඒ අලි වැටෙන් ආවරණය වී ඇත්තේ විහාරහින්න ඓතිහාසික පුදබිම සහ තදනුබද්ධ වනගහණය ගැවසීගත් කන්දයි.

ඒ ප්‍රධාන ගේට්ටුව අබියසට සැපත්වුණ අයෙකුට මුලින්ම දක්නට ලැබෙන්නේ පුරාවිද්‍යා කුටියයි. එය දොරගුලු ලා වසා ඇත. ප්‍රධාන ගේටුට්ව වසා ඇතත් එහි පසෙකින් ඇති කුඩා කඩුල්ල අපට ඇතුළට යාමට අවසර දුන්නේය. අලි වැට එතනින් විසන්ධි කර තිබූ බැවින් අපහසුවකින් තොරව ඇතුළු විය හැකි විය. එතැන් පටන් වනගොමුව තුළට පිවිසි අලුතෙන් කපා සකස් කළ මාර්ගයයි. දෙපස කෝං, පළු, වීර, කළුවර ආදී රූස්ස ගස් පෙළින් වටව ඇති මඟ දිගේ ගමන් කරන අයට මහ වනයකට ඇතුළත් වනවා වැනි හැඟීමක් ඇති වේ.

ඒ මඟ මීටර 150ක පමණ දුර ගෙවා යාමේදී විශාල නුග වෘක්ෂයක් අසලින් ඓතිහාසික පුදබිමට සැපත් වේ. කෙලින්ම ඉදිරියෙන් දිස් වන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කැණීම් කර මතුකරගෙන ඇති ඓතිහාසික පිළිමගෙයයි. එහි නටඹුන් බැලීමේ පවසින් පෙළුණු අපි හනි හනික එහි ගියෙමු. නටඹුන්ව ගියත් පිළිමගෙයක් බැවින් පාවහන් ගලවා සැදැහැවත්ව එහි යාමට අපි අමතක නොකළෙමු. තරමක් විශාල වපසරියක පැතිර පවත්නා ඒ පිළිමගෙයි නටඹුන් අතර පාදම සහ ගල්කණු පමණක් ඉතිරිව ඇත. ප්‍රධාන ප්‍රතිමා ගෘහයට ඇතුළු වන තැන දෙපස කුඩා පිළිමගෙවල් දෙකක නටඹුන් ඇති අතර එහිදී මුණ ගැසුණ පුරාවිද්‍යා නිළධාරියෙකු  පැවසුවේ ඒවා දේවාල විය හැකි බවය. පිළිමගෙයක දේවාල පිහිටා ඇත්ද යන පැනයත් සමඟ ඒ නටඹුන් බලන අපි පළමුවෙන්ම ගියේ ප්‍රධාන පිළිමගෙයි බුද්ධ ප්‍රතිමාව බැලීමටය.

මහාකාරුණිකයන් වහන්සේගේ අප්‍රමාණ කරුණා ගුණයෙන් පණ පොවන ලද මහා කළුගල සිත් පිත් නැති නිධන් සොරුන්ගේ කුළු පහරින් සුණු විසුණු වී ඇති අන්දම පරම ශෝචනීය වේ. කළුගලින් නෙලා ඇති දැවැන්ත හිටි පිළිමය සිරස සුන් අතර දෙතුන්පළකින්ම සුණු විසුණු කර ඇත්තේ ඒ අධමයන්ගේ පාපී ඉච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙසිණි. එහෙත් ඒ මහාකාරුණිකයාණෝ තමන් නැසූ පවිටු මිනිසුන්ට සිය අපමණ කරුණා ගුණය විදහාපාමින් උපේක්ෂා සිතින් ඒ පාළු පුදබිමේ තට්ට තනියම වැතිර සිටින අන්දම දකින කාගේත් නෙතට කඳුලක් නොඉපදෙනවා නොවේ.

පුරාණ ප්‍රතිමා ගෘහයක ලක්ෂණ ප්‍රකට කරවන එහි අඩි 20ට වඩා උස් විය හැකි දැවැන්ත කළුගලින් නෙළූ ගල් කණු අතීත ගෘහනිර්මාණ ශිල්පියාගේ ප්‍රතිභාව අදටත් මැනවින් හඬ ගා කියත්. මෙය ස්ථර කිහිපයකින් යුතු බිමක් බව පුරා විද්‍යා මතයයි. ඒ අනුව පිළිමගෙය පිහිටා ඇති බිම පහත් බිමකි. ඒ හාත්පස තවමත් කැණීම් කර නැති උපෝසථාගාර, චෛත්‍ය ආදී නටඹුන් රැසකි. එසේම විහාරය වටකර ඉදි වී ඇති ප්‍රාකාර බැම්මක්ද ඇති බව පුරාවිද්‍යා නිළධාරීතැනගෙන් අසන්නට ලැබිණි. අනුරාධපුර හෝ පොළොන්නරු යුගයට අයත් ගෘහනිර්මාණ ශිල්පයක් පිළිබිඹු වන බව පුරාවිද්‍යාමතය වන  අතර නිසැක ඓතිහාසික සාක්ෂි තවමත් සොයා ගෙන නැත.

මෙතැනින් හමු වී ඇති සෙල්ලිපියක් පසෙක සිටුවා ඇති අතර එයද පැහැදිලි නැත. බ්‍රාහ්මීය අක්ෂර මතින් දෙමළ අක්ෂර කොටා ඇති බවට පුරාවිද්‍යා නිළධාරී මහතා පැවසූ අතර එහි යට කොටසේ ඇති ආයුධ ආදී සලකුණු විශේෂයක් පැහැදිලිව හඳුනාගත හැකි වේ. පුරාණ චෛත්‍යයක් පැවති බවට සැලකෙන ස්ථානයක් ඇති අතර එහි පැවති පැරණි පිළිමගෙයක් වර්තමාන දෙවොලක් බවට පත් කර ගෙන ඇත්තේ බැතිමතුන් විසිනි. ප්‍රධාන පිළිමගෙයි ඇති කවන්ධ බුද්ධප්‍රතිමාවෙහි සුන්ව පැවති හිස සැදැහැවතුන් විසින් රැගෙන විත් මේ කුඩා පිළිමගෙයි තැන්පත් කර වන්දනා කිරීම අරඹා ඇත. ඉක්බිති නිධන් ලොබින් පෙළුණු අධමයන් කවුරුත් නැති මේ පුදබිමෙහි මිනිසුන් වඳින පුදන ඒ බුද්ධ ප්‍රතිමාවේ සිරසෙහි පවා මැණික් ඇතැයි ළාමක ආශාවෙන් පෙළී එය කඩා සුණු විසුණු කර ඇති බව අතිශය ශෝචනීය දසුනකි. වත්මන් සැදැහැවතුන් ඒ සිරස ඉදිරියෙන් අළුත් බුදුපිළිමයක් තබා වන්දනා කිරීම අරඹා ඇත. මෙම ස්ථානයෙහි හාස්කම් ඇති බවට විශ්වාස කරන බැතිමතුන් දැන් එතැන දෙවොලක් ලෙස සිතා වැඳුම් පිදුම් කරති. එහි බාරහාර වන අය ස්වකීය අරමුණු ඉටු කර ගැනීමට එහි රැගෙනවිත් පුදන කුඩා බුදුපිළිම රාශියක් දැන් ඒ ගෙයි පිරී ඇත. එහිවිත් බුදු පිළිමයක් පූජා කර බාරහාරවන බැතිමතුන් දැන් දැන් සෑම බදාදා සෙනසුරාදා දිනවල එහි පැමිණ ඒ අසල බිමක කිරි උතුරා මිසදිටු දෙවිවරුන්ද පුදන බව ඒ පුරාවිද්‍යා නිළධාරිමහතා සංවේගයෙන් පැවසීය. එහෙත් ඒ මිසදිටු පිදීම්වල යෙදෙන ප්‍රධානීන් දෙදෙනෙක් මේ කැලයේම වෙඩි වැදී බරපතල තුවාල ලත් බව ඒ මහතාම පැවසුවේ එහි ඇති මිසදිටු ශක්තිය පිලිබඳ ඔහුගේ විශ්වාසය අප හමුවේ හෙළිදරව් කරමිනි.

පුරාවිද්‍යා මතය අනුව උපෝසථාගාර ආදී සෙසු නටබුන් රැසක් එහි විසිරී පැතිරී ඇති අතර තැන තැන විසිරී ඇති ගල් කණු, මල් ආසන ආදී නටබුන් සමූහය අපට කියාපාන්නේ මෙය අතීත මහාවිහාරයක්ය යන බවයි. මහාවිහාරයක අත්‍යවශ්‍යයෙන්ම පවතින ප්‍රතිමාගෘහය, චෛත්‍යය, උපෝසථාගාරය, සංඝාවාස ආදිය පිළිබඳ සාධක රාශියක් විසිරී පැතිරී ඇති බැවිනි. පුරාවිද්‍යා නිළධාරීමහතා සඳහන් කරන ලද්දේ මෙය පුරාණ පංචාවාසයක් බවයි. එය අපගේ මතය සනාථ කරලීමට ශක්තියක් විය. කෙසේ නමුත් අතීතයේ සිල්වත් ගුණවත් ථෙරවාදී මහසඟරුවනගේ පාදස්පර්ශයෙන් පිවිතුරු වූ ප්‍රදේශවාසී බොදු ජනතාවගේ නිබඳ ජනාදරයට පාත්‍ර වූ පින්බිමක්ය යන බව බැලූ බැල්මට පෙනේ.

වර්තමානයේ ජනශූන්‍ය, විටෙන් විට බැතිමතුන් වඳින පුදන, මහ ඝණ කැලෑවෙන් වැසී ගත් මේ පුදබිම නිබඳ රජ කරන අලිඇතුන් සිටින බව කලින්ම ඇසූ අපට ඒ සඳහා බොහෝ සාධක හමු වූයෙන් රාත්‍රියේ ස්වකීය නිදහස් බිමට වන් මේ කරදරකාරී මිනිසුන් හමුවී ඒ නිදහස බාධා වීමේ නොසතුට පළකරන අලින් දකිනු නොකැමති වූ අපි කළුවර වැටෙන්නට මත්තෙන් ආපසු පැමිණියෙමු. ඒ එන ගමන් අලි බසින වැවටද ගිය නමුත් එදින අප දෙනෙත් පිනවීමට ඔවුන් පැමිණ නොසිටි බැවින් හිස් අතින්ම පිටවුණෙමු.

courtesy : mahaviharaya.lk


More News »