ඓතිහාසික වටිනාකම් පිරි ගොඩපිටිය ජේතවන විහාරය

2018-01-09 10:58:00       104
feature-top
අනුරාධපුර යුගයේ ඇරැඹි මෙරට වෙහෙර විහාරස්ථාන අතරින් රුහුණේ වෙහෙර විහාරස්ථාන වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඒ අතරින් ගොඩපිටිය ජේතවන රජමහා විහාරස්ථානය ප්‍රමුඛ ස්ථානයක් ගන්නේ එහි ඇති ඓතිහාසික වටිනාකම් රැසක් නිසාය.

අකුරැස්ස සිඹලාගොඩ, පිටබැද්දර මාර්ගයේ මීටර් තුන්සියයක් ගිය තැන හමුවන ඓතිහාසික පින්බිමේ ඉදිකර ඇති ධන්‍යාගාර හැඩයෙන් යුත් ඓතිහාසික චෛත්‍යය එයට කදිම නිදසුනකි. එනම් දුටුගැමුණු රජතුමාට එළාර රජු සමඟ යුද්ධයේදී සේනා සංවිධානය කිරීම සඳහා සෙවණ දුන් මෙම පින් බිම නැවත නැවත සිහිවීම පිණිස විහාරමහා දේවිය විසින් මෙම චෛත්‍යය ඉදිකරවා ඇති බව සංරක්ෂිත තොරතුරුවල සදහන්ය.

හිටපු පුරාවිද්‍යා කොමසාරිස් සිරිනිමල් ලද්දුසිංහ මහතාට අනුව ලෝකඩ වලින් තැනූ ලෝකයේ පළමු සක්මන් බුදු පිළිමය මෙම විහාරස්ථානයේදී දැකගත හැක. එමෙන්ම රිදියෙන් තනා රත්‍රං වලින් දළු නිර්මානය කරන ලද රිදී බෝධිය ද විහාරස්ථානයේ ඓතිහාසික වටිනාකම තහවුරු කරන්නකි. මේ සියල්ලම තුන්පත් කර ඇත්තේ හෙළ කලාකරුවාගේ තවත් විශිෂ්ට නිර්මානයක්වූ දෙව්රම් මණ්ඩපය තුළයි. දෙව්රම් මණ්ඩපය සදුන් ලී, කළුවර ලී හා ඇත්දළ වලින් නිර්මානය කර ඇතැයි යන්න විහාරාධිපති අගලකඩ රතනපාල නාහිමියන්ගේ අදහසයි. උන්වහන්සේට අනුව දේවානම්පියතිස්ස රජතුමා විසින් රෝපනය කළ බෝධීන්වහස්සේ මීට කීපයකට පෙර ඉදිරී වැටීමෙන් පසු එම බෝධීන් වහන්සේගෙන්ම හටගත් බෝධීන්වහන්සේ අදට ද සුරක්ෂිතව ජනතා වන්දනාමානයට ලක්වෙමින් ඇත.

අගලකඩ රතනපාල නාහිමියන් පවසන පරිදි මෙහි ඇති තවත් ඓතිහාසික වටිනාකමක් වන්නේ රුහුණේ අතීතය කියාපාන ඓතිහාසික තොරතුරු අඩංගුවී ඇති කෞතුකාගාරයයි. වසරේ එක් දිනක් පමණක් එනම් වෙසක් පොහෝ දිනට පමණක් විවෘත වන මෙහි දෙව්රම් මණ්ඩපය පිරිසිදු කිරීම සඳහා, රුහුණේ බෞද්ධ ප්‍රබෝධයට ඉමහත් සේවාවක් කළ සරම්මුදලි තුමාගේ හිසකෙස් කපා සකස් කරන ලද බුෂ්ණ අදට ද සුරක්ෂිතව පවති.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »