ඉතිහාසයටත් අමතකව යන මා තොට රජ මහ විහාරයේ කතාව

2017-12-26 09:47:00       517
feature-top
මන්නාරම ඓතිහාසික මාතොට රජමහා විහාරය මහ රහතුන් වහන්සේලාගේ මෙන්ම රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ පාද ස්‌පර්ශය ලද පුණ්‍යභූමියකි. කාලයාගේ ඇවෑමෙන්. පර සතුරු උපද්‍රව හමුවෙත් උතුරු - නැගෙනහිර විහාරස්‌ථාන රැසක්‌ වල්බිහිවී යැමටත්.විනාශවී යැමත් සිදුවිය. පුරාවස්‌තූන් බවට පත්ව ඇති එම බොදු පුද බිම නැවතත් ගොඩනගමින් වැනසී යන පොදු උරුමය තවත් චිරාත් කාලයකට ස්‌ථාපිත කිරීමට තරුණ බුද්ධ පුත්‍රයන් වහන්සේලා සිවුපසය ගැන හෝ නොතකා ඉදිරිපත්වී කටයුතු කිරීම ඇත්තටම ඇගයිය යුතුමය.
 
අපගේ බොදු උරුමය. වැනසී යනවා යෑයි කොතරම් කීවද.රැක ගැනීමට ක්‍රියාවෙන්ම කටයුතු කරන බහුතර දෙනා අල්පය. මහ වන මැද හෝ අන්‍ය ආගමික බහුතරයක්‌ මැද බොදු උරුමය මෙන්ම පුරාවස්‌තූන්ද රැකගෙන මහණ දම් පිරීමද සුළු පටු කරුණක්‌ නොවේ. විවිධ වූ අනේක විධ දුෂ්කරතා හමුවේ විශේෂයෙන්ම උතුරු - නැගෙනහිර ප්‍රදේශවල බුද්ධ පුත්‍රයන් වහන්සේලා සිදුකරන කැපකිරීම සියසින් දකින්නකුට හැර වෙනත් අයකුට එම දුෂ්කරතා තේරුම් ගැනීමද අපහසුය.
 
 ඓතිහාසික මාතොට රජමහා විහාරය පිළිබඳව අතීත පුරාවෘත්තයන් රැසක්‌ ඇත. විහාරාධිපති අඹගහවැවේ සංඝරක්‌ත හිමියෝ මෙම ඓතිහාසික පුදබිම ගැන "ඉරිදා දිවයින' ට මෙසේ පැවැසූහ.
 
 "මහා ජල්ලික කොවුල්ගම ශ්‍රී මහා බෝධීන්වහන්සේ නමක්‌ පිහිටුවා තිබෙන බව සිහළ බෝධි වංශයෙ සඳහන් වෙනවා. මහනුවර යුගය රචිත විහාර අස්‌න හෙවත් නම්පොතෙහි මාංතොටට්‌ටම රජමහා විහාරය ලෙස සඳහන් වෙන්නේ මෙම විහාරයයි."
 
 "ශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුරාධපුරයට පෙරහැරින් වැඩම කරද්දී ප්‍රථම රැය නවාතැන් ගත් ස්‌ථානය ලෙස මෙම පුදබිම ජනප්‍රවාදයේ අදටත් පැවත එනවා. ජනප්‍රවාදයේ සඳහන් ප්‍රධාන කරුණ නම් මිහිඳු මහ රහතන් වහන්සේ පළමුව වැඩම කළ ස්‌ථානය ලෙසත් මෙම පුදබිම සඳහන් වනවා. නිරුකේදිතිස්‌වරම් කෝවිලත්, මාන්තේ බටහිර පිහිටි කතෝලික දේවස්‌ථානයත්, මාතොට රජමහා විහාරස්‌ථානයත් මේ ස්‌ථාන තුනේම බෞද්ධ නටබුන් තිබෙන බව පුරාවිද්‍යාත්මකව ඇති කරුණු මේ වනවිටත් ගවේෂණය කරනවා."
 
 එංගලන්තයේ සිට පැමිණි පුරාවිද්‍යා විශේෂඥවරියක වන මාතා පිගට්‌ මියන් මහත්මිය විශේෂ පුරාවිද්‍යාත්මක කැණීම් කරලා තිබෙනවා. පුරාවිදු චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියොත් මේ ස්‌ථාන ගවේෂණය කරලා තිබෙනවා.
 
 අතීත තොරතුරු පවසමින් සිටි සංඝරක්‌ත හිමියන් ගෙන් මෙම පුද බිමට වැඩම කරවීම පිළිබඳව කළ විමසීමේදී උන්වහන්සේ මෙසේ පැවැසූහ.
 
 "මම අනුරාධපුර රුවන්වැලි සෑ මහ විහාරාධිපති ඇතිනිමලේ ශ්‍රී ගුණරතන නායක හිමියන්ගේ ශිෂ්‍යවරයෙක්‌. එම විහාරස්‌ථානයේ වැඩසිටි අවධියේ යුද්ධය නිමවී යන අතරතුර ක්‍ෂණිකව සිතට ආවා යුද්ධයෙන් විනාශවූ බෞද්ධ සිද්ධස්‌ථානයක්‌ ගොඩනැගීමට. ඒ සිතුවිල්ල මතයි මෙම පුදබිම සොයාගෙන වැඩම කළේ.
 
 "මෙතනට මම පැමිණෙන විට වල්බිහිවෙලා තිබුණා. මුල් දින කීපය බෝමළුවේ වැඩි සිටියා. පැරණි ගොඩනැඟිල්ලක්‌ තිබුණා. කැලයෙන් යටවී ගිය. මාස දෙකක්‌ විතර එතෙන වැඩ සිටියා. සිවු පසය ගැන නෙමෙයි කොහොම හරි මොන දුකක්‌ විඳගෙන හරි මේ ස්‌ථානය රැක ගැනීමේ අරමුණයි මට තිබුණේ. 54 සේනාංකය සහ මන්නාරම මූලස්‌ථාන පොලිසිය ඒකාබද්ධව මේ පුදබිමට යාබද යුද්ධයෙන් විනාශවී තිබූ පැරැණි නිවසක කාමරයක්‌ පිළිසකර දුන්නා. ඒ කාමරයේ වැඩසිටිමින් මෙම පුදබිම පිළිබඳව සවිස්‌තර සටහනක්‌ මන්නාරම ප්‍රාදේශීය ලේකම්තුමියට භාර දුන්නා. අපවත්වී වදාළ උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක මඩුකන්ද රජමහා විහාරාධිපති කුරුඳුගොඩ රතනසාර මහානායක හිමියන්ගේ නිර්දේශ මතයි මා එලෙස කළේ.
 
 "ඒ අනුවයි නිත්‍යානුකූලව සියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ අතිගරු මහානායක තිබ්බොටුවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක හිමියන් විසින් ඓතිහාසික මාතොට රජමහා විහාරස්‌ථානයේ විහාරාධිපති ලෙස මා පත්කළා. උතුරු වසන්තය වැඩසටහන යටතේ පෞරාණික මාතොට විහාර භූමිය මත නව මාර්ගයක්‌ නිර්මාණය කිරීමේදී බුල් ඩෝසරයකට හසුවී ගිය පුරාවස්‌තු ගණනාවක්‌ කුණුගොඩක තිබී මට හමුවුණා."
 
 "ඒ තුළ බිඳී කැඩුණු බුදු පිළිමයක කොටසක්‌, බෝධිසත්ව ප්‍රතිමාවක කොටසක්‌ ටැම්ලිපියක කඩක්‌, දේශීය වෛද්‍ය ඖෂධ ඇඹරුම්ගල් කොටස්‌ කිහිපයක්‌ සහ විශාල ප්‍රමාණයේ පෞරාණික ඇරඹරුම්ගල් සෙක්‌කුවක්‌ හමුවුණා. පෞරාණික බෝධිය අභියස ඒ සියල්ල තැන්පත්කර තිබෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික උරුමයන් පිළිබඳව අමාත්‍යාශය. මෙම රජමහා විහාර ටැම් ලිපිය පිළිබඳව තබා ඇති සටහනෙහි මෙසේ සඳහන් වේ. කාලය, ක්‍රිස්‌තුවර්ෂ දහවන සියවස, අක්‌ෂර සහ භාෂාව, මධ්‍ය කාලීන සිංහල යහපතක්‌ම වේවා කිසියම් රජකු විසින් (නම සඳහන් නොවේ.) මන්නාරම් තොටෙහි සලාහු නම් ස්‌ථානයේ පුදකරන ලද පිංකමක්‌ පිළිබඳ තොරතුරු අන්තර්ගතය. (ලිපිය ඇපැහැදිලිය) එසේම ශිලා ලිපියේම පිළිම වහන්ස්‌ලා පන්සිය නමක්‌ පිළිබඳ තොරතුරු සඳහන් වේ. කිසියම් ජයග්‍රහණයක්‌ පිළිබඳවද ලිපියෙහි සටහන්කර තිබේ. දකුණේ ජනයාගේ සිත සුව පිණිස මේ ටැඹ ගෙන්වා ගෙන කසාතොට නම් ස්‌ථානයේ පිහිටුවූ බව ශිලා ලේඛනයේ සඳහන් කර ඇත.
 
 මෙම පුදබිම අංගසම්පූර්ණ විහාරාංගයන්ගෙන් පිරිපුන් කිරීමේ වැඩකටයුතු සංඝරක්‌ත හිමියන් ආරම්භකර ඇත. පෞරාණික බෝධිය වටා බෝධි ප්‍රාකාරය සහ ධර්මශාලා මන්දිරය ඉදිකිරීමේ වැඩ කටයුතු දැනටමත් ආරම්භ කර ඇත.
 
 Ö ඓතිහාසික නටබුන් සහ පුරා වෘත්තයන් රැසක්‌ ඉතිරි කරමින් මෙම පුදබිම කාලයාගේ ඇවෑමෙන් වල් බිහිවූවා. නැවත ඒ අතීත ශ්‍රී විභූතිය මෙම පුදබිමට ගෙන ඒම ලෙහෙසි පහසු කටයුත්තක්‌ නම් නොවෙයි. අපේ හාමුදුරුවනේ.. මේ කටයුත්ත ලොකු අභියෝගයක්‌ නේද?
 
 "සාමාන්‍ය තැනක්‌ නෙමෙයි මේ. ඉතිහාසගත පෞරාණික තොරතුරු අනුව බොහෝම වැදගත් පුණ්‍ය භූමියක්‌ මේ. අපට කිලෝමීටර් තිස්‌පහක පමණ භූමි ප්‍රදේශයේ කිසිදු විහාරස්‌ථානයක්‌ හෝ සිංහල පදිංචිකරුවන් නැහැ. වැනසී යන.... පොළොවට සමතලා වූ.... අපේ අතීත... බොදු උරුමය... තවත් චිරාත් කාලයකට ගොඩනඟා ගන්නයි මේ වෙරදරන්නේ. අභියෝගයක්‌ තමයි. ඒ අභියෝගයට මම මුහුණදීලයි ඉන්නේ. යහපත් සිතින් උදාර අරමුණක්‌ ඇතිවයි මේ දේවල් කරන්නේ. තුණුරුවන ආශිර්වාදය මූලික කරගෙන මේ කරන වැඩකටයුතු මේ දක්‌වා සාර්ථක වුණා. ඒ නිසා ඉදිරිය වරදින්න විදිහක්‌ නෑ."
 
 "දිස්‌ත්‍රික්‌ක විසිහරතක්‌ ආවරණය වන අයුරින් දායක සභාවක්‌ අපට තිබෙනවා. දමිළ, හිංදු, ක්‍රිස්‌තියානි, මේ හැම දෙනෙක්‌ම අපේ දායක සභාවේ ඉන්නවා. කෝටිපතියෝ නෙමෙයි. මේ හැම දෙනාම සාමාන්‍ය අයයි. ඒකයි විශේෂත්වය. බුදුපිළිම වහන්සේ ඉදිකරදීම ජයග්‍රහණය ශ්‍රී ලංකා මහනුවර සංවිධානයේ විශේෂඥ වෛද්‍ය එච්. ඩී. ජයසිංහ යුවළ ඇතුළු පිරිස විසින් සිදු කළා. ආගන්තුක භික්‌ෂු සංඝාවාසය දාන ශාලාව සහ මුළුතැන්ගෙය බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ, බෞද්ධ කටයුතු කොමසාරිස්‌තුමා සහ අධ්‍යක්‍ෂතුමන්ගේ පෞද්ගලික ලේකම් රිචඩ් තනිප්පුලිආරච්චි යන මහත්වරු මූලිකව ලක්‌ෂ විසිහතක පිරිවැය දරා ඉදිකර දුන්නා. කොළඹ මහ රෝහලේ සේවක පිරිස, විශේෂඥ වෛද්‍ය, ඩිලානි විඡේසේකර, ගණකාධිකාරී තිස්‌ස සියගුණ, 54 වැනි සේනාංකයේ සේනාධිපතිවරු ඇතුළු නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරුන් ඇතුළු පොලිස්‌ නිලධාරීන් 25 වැනි ගැමුණු හේවා බලඇණිය අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ජනක්‌ ජයවර්ධන මහතා ප්‍රමුඛ එම බලඇණිය ඇතුළු විශාල පිරිසක්‌ මේ පුද බිම යළි නඟාසිටුවීමට ජීවනාලිය ලබා දුන්නා. ඒ ගැන විශේෂයෙන් සිහිපත් කළ යුතුමයි.
 
 "මේ. පුදබිම.යොදුන් ගණනක්‌ සීමාවේ බහුතරයක්‌ දමිළ හිංදු බැතිමතුන් සිටින්නේ. කොහොමද ඔබ වහන්සේ බුද්ධ පුත්‍රයකු ලෙස තනියම මේ සියලු වැඩ කටයුතු සිදුකරන්නේ?
 
 අපේ මහත්තය විතරක්‌ නෙවි මෙතනට එන හැම කෙනෙක්‌ම මගෙන් ඔය ප්‍රශ්නය අහනවා. මම මෙතනට ආවේ තනියම. හරියට ඉන්න හිටින්න තැනක්‌ වත් නැතිව නොවිඳිනා දුක්‌ කම්කටොලුවලට මුහුණ දීලා තමයි මේ ගමන ආවේ. බලන.බලන හැම තැනකමත්.හමුවන බහුතරයක්‌ දමිළ අය. තනි මං විතරයි. මේ අපේ උරුමය කියලා. කෑකෝ ගහගෙන මෙතන ගමනක්‌ යන්න අමාරුයි. විශේෂයෙන් මේ.දමිළ පිරිස.ඒ ඇත්තන් සමඟ සුහදව මේ ගමන යන්න ඕනි මම. ඒක මම තේරුම් ගත යුතු සත්‍යයක්‌. ඒ නිසා මේ ඇත්තන් සමඟ සුහදව.අපෙනුත් ඒ ඇත්තන්ට යමක්‌ සිදුකරමින් මේ ගමන මම යනවා. දමිළ දරුවන්ටත් ප්‍රශ්න තිබෙනවා. නැති බැරිකම මේ දරුවන්ටත් තියෙනවා. බොහෝම දුෂ්කර ප්‍රදේශයක්‌ මේ. අධ්‍යාපනය ලබන දරුවන්ට පත - පොත, අධ්‍යාපන උපකරණ අපට හැකි අයුරින් දායක භවතුන්ගේ අනුග්‍රහය ඇතිව පරිත්‍යාග කරනවා. වසරකට වරක්‌ මේ හැම දෙනාටම සෞඛ්‍ය කඳවුරක්‌ අතිසාර්ථක ලෙස පවත්වනවා. මන්නාරමේ පැරණිම පාසල ගෞරි අම්බාල් විද්‍යාලය. අඩු - පාඩු මධ්‍යයේ තමයි පවත්වාගෙන යන්නේ. මේ ළඟදී දවසක අගමැතිතුමා ප්‍රදේශයට පැමිණියා. එහිදී මම එතුමා හමුවී මේ විදුහලේ අඩුපාඩු පිළිබඳව ලිතව සහ වාචිකව කරුණු ඉදිරිපත් කළා.
 
 අගමැතිතුමා මේ පිළිබඳව අවධානය යොමු කරලා තිබෙනවා. විදුහල්පතිතුමාට ඒ පිළිබඳ ලිපියකුත් එවල තිබෙනවා. බහුතරයගේ හිත දිනාගන්න නම් ඊට අවබෝධයෙන් යහපත් ෙච්තනාවෙන් කටයුතු කළ යුතුයි. දමිළ තරුණ තරුණියන් තමයි විහාරස්‌ථානයේ කඨින පිංකමට සියලු සැරසිලි කටයුතු සිදුකරන්නේ. පිංකම ඡායාරූප සහ වීඩියෝ ගතකිරීම කරල දෙන්නේ මේ තරුණයන්මයි. යම් දෙයක්‌ ඒ දරුවන් වෙනුවෙනුත් කරනවා කියල මේ තරුණයෝ.ඒ දරුවෝ තේරුම් අරගෙන ඉන්නේ. මේ සංහිඳියාව නැතිනම් අනාගතයේ කවදාහරි උඹලා අපිට.මොනවද කළේ කියලා ප්‍රශ්න කරනදාට අපට දෙන්න උත්තර නැහැ. ආගම ප්‍රශ්නයක්‌ නෑ. අපට තවකෙකු වෙනුවෙන් යමක්‌ කරන්න. ඒ දේ මට හැකි අයුරින් මම කරනවා. ඒ නිසා මම තනිවෙලා නැහැ කියලා මට හිතෙනවා. ලොකු කුඩා කිසිම භේදයකින් තොරව මේ ඇත්තන් මේ පුදබිම සමඟ කටයුතු කරන නිසා යෑයි උන්වහන්සේ එසේ පැවැසූහ.
 
 ගම්පහ මහජන බැංකුවේ හිටපු කළමනාකාර කීර්ති ගුණසේකර මහතා ඇතුළු පිරිස දැක්‌වූ සහාය අගයමි.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »