ඓතිහාසික​ සේරුවාවිල රජමහා විහාරය

2017-12-11 10:46:00       104
feature-top
ලොව පුරා විසිරි පවතින බොදු රටවල් අතරින් බුදුන් වහන්සේගේ වැඩිම ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ සිටින බෞද්ධ දේශය ලෙස බෞද්ධයින් විසින් සළකනු ලබන්නේ ශ්‍රී ලංකාවයි. බෞද්ධාගමික බැතිමතුන් එම ධාතුන් වහන්සේලා වැඩ සිටින ආගමික ස්ථාන වැදපුදා ගැනීමට දක්වන්නේ ඉමහත් උනන්දුවක් බව දැකගැනීමට පුළුවන්. ඉතින් එවැනි බොදු ජනයාගේ වන්දනාමයට පත්වන බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩසිටින විහාරස්ථානයක් වන සේරුවාවිල රජමහා විහාරය පිලිබදව මෙම ලිපිය හරහා විස්තර ගෙන එනවා.

බුදුන් වහන්සේගේ ලළාට ධාතුන් වහන්සේත්, තපස්සු භල්ලුක​ වෙළද දෙබෑයන්ට බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ ලබා දුන් කේෂ ධාතුන්ගෙන් කොටසකුත් සේරුවාවිල මහා සැයේ තැන්පත් කර ඇති බව ධාතු වංශයේ සදහන් වෙනවා. මෙම සේරුවාවිල පුදබිම නැගෙනහිර පළාතට අයත් වන ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙනවා. මෙම විහාරයට මුහුදු මාර්ගයෙන් මෙන්ම ගොඩබිම හරහාද ළඟාවීමට​ හැකියාව පවතිනවා. එහිදී කන්තලේ නගරය හරහා වැටි ඇති මාර්ගය භාවිත කරන්නේ නම් එම මාර්ගයේ කි.මීටර 90ක පමණ දුරක් ගමන්කළ පසු මෙම ඓතිහාසික පුද බිම වෙත ළඟාවීමට​ හැකියාව තිබෙනවා. බෞද්ධ වන්දනාකරුවන් වැඩිවශයෙන් භාවිතයට ගන්නේ මෙම ගොඩබිම මාර්ගයයි. එසේම ත්‍රිකුණාමලයේ සිට බෝට්ටුවෙන් කිලෝමීටර 14.5 ක පමණ දුරක් මුතුර් දක්වා ගමන් කර එතැන් සිට තවත් කිලෝමීටර 16ක් පමණ ගමන් කිරීමෙන් පසුද මෙම සේරුවාවිල පුද බිමට මුහුදු මාර්ගයෙන් ළඟාවීමට පුළුවන් වෙනවා. එසේම ත්‍රිකුණාමලයේ සිට කින්නියතොට, උප්පුආරුතොට හරහා මාර්ගයේ පැමිණෙන විට කිලෝමීටර 15කට ආසන්න දුරක් ගෙවා ගමන් කිරීමෙන්ද මෙම පුදබිමට ළඟාවීමට පුළුවන් වෙනවා.

නැගෙනහිර තමන්කඩුව දෙපලාතේ ප්‍රධාන සංඝනායක ශ්‍රී කල්‍යාණවංශ මහා නිකායේ අනුනායක දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර මහා නා හිමියන් වහන්සේගේ ආගමනයත් සමග මෙම පුදබිමට නැවත පුනර්ජීවයක් ලැබුන බව කියවෙනවා. උන්වහන්සේ විසින් ගරාවැටිමට ලක්ව තිබු චෛත්‍යය​ නැවත ප්‍රතිසංස්කරණය කරවා මෙම පුදබිමට නැවත ආලෝකයක් ලබා දෙන ලදී. සේරුවාවිල රජමහා විහාරයේ වත්මන් විහාරාධිපති හිමියන් වන්නේ මුන්හේනේ මෙත්තාරාම නාහිමියන් වහන්සේයි. එසේම මෙම විහාරයේ දින හතක් පුරාවට පවත්වනු ලබන පෙරහැර පින්කම් මාලාව රට පුරා දහස් ගණන් බෞද්ධ බැතිමතුන්ගේ අවධානය දින ගැනීමට සමත්ව තිබෙනවා.

ඉතිහාසයට අනුව මෙම ප්‍රදේශය​ රුහුණු රටට අයත්වනවා. එකල මෙම පුදබිමෙහි පන්සියයක් මහරහතන් වහන්සේලා වැඩ සිටි බව කියවෙනවා. එකල සංඝාවාස, උපෝසතාඝර​, බෝධි ගෘහ, ප්‍රතිමා මාලක ආදී විහාරයක තිබිය යුතු සියලුම විහාර අංගයන්ගෙන් සමන්විත වූ විහාරයක්ව මෙම සේරුවාවිල රජ මහා විහාරය පවතී ඇත. එකල රාජ්‍ය පාලකයා වූ දුටුගැමුණු රජතුමාගේ පිය රජතුමා වන කාවන්තිස්ස රජතුමා විසින් ගම්බිම් පුදා මෙම පුද බිමෙහි මතු දියුණුවට වැඩ සැලසු බවද වංශකතා වල සදහන් වෙනවා.

සේරුවාවිල චෛත්‍යය​ කරවන ලද්දේ ද කාවන්තිස්ස රජතුමාගේ රජ සමයේදිය. ධාතු වංශයේ සදහන් වන ආකාරයට බුදුන් වහන්සේ  බුද්ධත්වයෙන් අටවන වසරේ ලංකාවට තෙවැනි වරට වැඩම කළ අවස්ථාවේදී පන්සියයක් මහරහතන් වහන්සේලා සමග නිරෝධ සමාපත්තියට සමවැදී වැඩ සිටියේද මෙම විහාරස්ථානයේ බව සදහන් වෙනවා. එසේම මාගම රාජ පරපුර ආරක්ෂා කරගෙන සිටි බව පැවසෙන බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කර සැදු මෙම මහා සැය “මංගල මහා සෑය” වශයෙන් ද හදුන්වනු ලබනවා. මෙම ස්තුප රාජයාණන්  වහන්සේ සඟ සතු කර පූජා කර ඇත්තේ චුල්ල පිණ්ඩපාතික හා තිස්ස විහාරයේ සාගල නම් භික්ෂුන් වහන්සේගේ උපදෙස් පරිදි බව ද ධාතු වංශයේ සදහන් වෙයි.

දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ මෙම සේරුවාවිල විහාරය සමීපයේ දෙතිස් ඵලරුහ බෝධීන් වහන්සේ නමක් රෝපණය කර ඇති බවද සදහන් වන අතර මැත කාලයේදී සිදු කල පුරාවිද්‍යාත්මක සොයාගැනීම්වලට අනුව එය රෝපණය කර තිබෙන්නේ කිලිවෙඩ්ඩි නම් වූ ප්‍රදේශයේයි. එහෙත් එම ඓතිහාසික බෝධීන් වහන්සේ ත්‍රස්තවාදීන් විසින් විනාශ කර ඇත.

පුරාවිද්‍යාත්මක කැනීම් වලට අනුව හමු වී ඇති තොරතුරු වලට අනුව මෙම පුණ්‍යභුමිය පුරාතනයේදී නාග ගෝත්‍රිකයන්ගේ භූමියක්ව පැවති ඇති බව සිතිය හැකි වෙනවා. නයිපෙන නවයකින් සහ හතකින් ආවරණය කරනලද බුදුපිළිම එහිදී සොයාගෙන තිබෙනවා. එසේම පුරාවිද්‍යා කැනීම් වලදී වනයට දෙසට වන්නට සිය ගණන් ගල් ගෙවල් මෙන්ම ගල් පොකුණු, ආරාම නටබුන්, කළුගලින් කල විශාල මල් ආසන​ ආදියද සොයාගෙන තිබෙනවා.


විහාර භූමියේදී දැකගැනීමට හැකි වන නටබුන් දැක්වෙන පින්තුරයක් (flickr.com)

අක්කර 50කට ආසන්න භුමි ප්‍රදේශයක පැතිරී පවතින මෙම ඓතිහාසික සේරුවාවිල රජමහා විහාර භුමිය හා ඒ අවට අක්කර 85කට අසන්න භුමි ප්‍රදේශය ද 1962 වසරේ දී පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත්කමක් ඇති ප්‍රදේශයක් වශයෙන් ද නම් කරනු ලැබුවා.

මෙම ඓතිහාසික පුජභුමිය දේශීය බොදු බැතිමතුන්ගේ පමණක් නොව විදේශීය සංචාරකයන්ගේද අවධානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා. ඔබටද වන්දනා චාරිකාවක නිරතවන්නේ නම් ඒ සදහා, ආගමික මෙන්ම ඓතිහාසික වශයෙන්ද වැදගත්කමක් ඇති  සිද්ධස්ථානයක් වන මෙම සේරුවාවිල රජමහා විහරය තෝරා ගැනීමට පුළුවන් වෙනවා.


(under the courtesy of roar.media web)

More News »