වළගම්බා රජු සැඟවී සිටි පෙට්ටගම් ගල

2017-09-26 10:24:00       198
feature-top
අද අපි යන්න හදන්නේ වළගම්බා රජතුමා සැඟවිලා හිටපු පෙට්ටගම් ගල බලන්න. ඒ යන ගමන් වලගම්බා ඉතිහාසයට වැදගත් තවත් ස්ථානයක් බලන් යන්න තමයි හිතන් ඉන්නේ. ඒ මොක්කක්ද අප්පේ ඒ…? විස්තර පස්සේ කියන්නම්කෝ එහෙනම් ලෑස්ති වෙන්නකෝ අපිත් එක්ක යන්න.

අපි නම් යන්නේ කොස්කඳවල සිරි සුනන්ද පිරිවෙනේ ඉඳන් ඒ කියන්නේ යක්කල ඉඳන් කිලෝමීටර් 4 ක් විතර. හරි, කොස්කඳවල ඉඳන් තවත් කිලෝමීටර් 3 ක් විතර යන කොට වම් පැත්තේ නාමපුවරුවක් තියනවා “හැවනිවල පුරාණ රජමහ විහාරය” කියල. අන්න එතනින් හැරිලා මීටර් 400 ක් විතර යනකොට වතුර ටැංකියක් ළඟ තුන් මං හන්දියක් හම්බවෙනවා.

එතනින් දකුණට හැරෙමු. තවත් මීටර් 500 ක් විතර යනකොට පාලමක් සමග වෙල් යායක් හම්බවෙනවා. වෙල් යාය ලඟින් පාර අවහිර නොවනවිදිහට වාහනේ නවත්තමු. අන්න… අර පෙන්නේ… ඔයගොල්ලෝ බලනවා ඇති නේද මොකක්ද කියල. අපිට අර පොල් අතු සෙවිලි කරලා අර පොඩි මඩුවක් වගේ පෙන්නේ ; ඒක තමයි “ඇවරියවල අම්බලම”. ක්‍රිස්තුපූර්ව 1 වන සියවසේදී වාරණ සැඟවී සිටි වළගම්බා රජතුමාගේ බිසවුන් වහන්සේ ස්නානය කරන්න යොදාගත් ස්ථානය තමයි මේක. මෙතන තියන අම්බලමේ ඇඳුම් තියල ඔය පේන ජල තටාකයේ නාන්න බිසවුන් වහන්සේ පුරුදුව හිටිය කියල සඳහන් වෙනවා. සරුසාර වෙල් යාය මැද ස්ථානගත වෙලා තියෙන මේ අම්බලම හරිම ලස්සනක් පරිසරයට එක් කරන්නේ. මේ අම්බලම පැරිණි තිබු තත්වයට ප්‍රතිසංස්කරණය කිරීම ගැන පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට හා ප්‍රදේශ වාසීන්ට අපේ ස්තුතිය. කියන්න බැරි උනානේ කොහොමද මේකට නම වැටුනේ කියල. බිසවුන් වහන්සේ ස්නානය කරලා හවරිය අමතක වෙලා ගිය වල (හවරිය + වල) හවරියවල පසුකාලයකදී ඇවරියවල වුන බව සඳහන්.

අපි මෙතන සුන්දරත්වය බලල පිටත් වෙමුකෝ පෙට්ටගම් ගල බලන්න. අපි ආපහු කිරිඳිවැල පාරට ඇවිල්ල කිරිඳිවැල දෙසට කිලෝමීටර් 3 ක් විතර යන කොට දික්කන්ද හන්දිය හම්බවෙනවා. මතක තියාගන්න, එතන බෝ ගහ ලඟින් වමට හරවන්න ඕන. පාර වැරදි වගේ හිතෙනවනම් “ඉසිවර තපෝවනයට” යන්නේ කොහොමද කියල අහන්නකෝ. ටික දුරක් ගියාම දකුණු පැත්තට නිල් පාට ඉසිවර තපෝවනය කියල බෝර්ඩ් එකක් දාල තියනවා. ඒතනින් මීටර් 300 ක් විතර ඉදිරියට ගියාම පෙට්ටගම් ගල ඈතින් පේනවා.

හැබැයි පුතෝ මේ ගමනේ අන්තිම ටික දල ආනතියත් තියෙන්නේ. පාරත් එච්චරම හොඳ නැහැ. කොහොමින් කොහොම හරි භාවනා මධ්‍යස්ථානයේ ගේට්ටුව ළඟටම ආව.මෙතනින් වාහනේ නවත්වල ඉතිරිටික පයින් යන්න වෙන්නේ. ආ.. මොකක්ද මේ ගේට්ටුවේ ගහල තියෙන්නේ?

මේවා හොඳට මතක තියාගන්න.. “ඉසිවර තපොවනයට” ඇතුල් වෙන්න පුළුවන් පෙරවරු 11.30 ඉඳන් පස්වරු 1 දක්වා පමණයි. අනික් එක සංවර ඇඳුමින් සැරසිලා එන්න ඕන හරිද? අනික් එක අපි යන්නේ භාවනා මධ්‍යස්ථානයකට ඒක නිසා ස්වාමීන්වහන්සේලාට බාධාවක් වෙන විදිහට හැසිරෙන්න එපා කියන එක නඩේ ගුරා විදිහට නොකියාම බැහැ. මොකද නඩේ ගුරා විදිහට අපි ඔබට මේ තැන් ගැන කියාදෙන්නේ ඔබල වගකීමෙන් හැසිරෙනවා කියන චේතනාව මත. ඒක නිසා නඩේ ගුරාට අවමානයක් නොවෙන්න වග බලාගන්න.

හරි කතාවෙන් කතාවෙන් පෙට්ටගම් ගල ළඟටම ආව. ගේට්ටුව ළඟ ඉඳන් මීටර් 200 ක් විතර මෙතනට තියනවා. බලන්නකෝ පෙට්ටගම් ගලේ අපූරුව; දැන් පෙරළෙයි සිතෙන මුත් ඇතුන් ලවා මිස මෙය පෙරලිය නොහැකි බව සක්සුදක් සේ විශ්වාසයි. පෙට්ටගම් ගල මත අලුතින් ඉදිකරලා තියන චෛත්‍යය අපූරු නිර්මාණයක්. පෙට්ටගම් ගල වළගම්බා රජ සමයේ කෘතිමව සකස් කල එකක් ද ස්වභාවධර්මයේ විශිෂ්ට නිර්මාණයක් ද යන්න නම් නඩේ ගුරාටත් ප්‍රශ්නයක්.
සුදෝ සුදින් බබලන චෛත්‍යය පෙට්ටගම් ගලට ඉහල ස්ථරයක සාදා ඇති අතර මෙහි ඇති නිශ්චල බව නිසා භාවනා යෝගී හිමිවරුන්ට කදිම ස්ථානයක් තමයි මේක. මෙතැන සිට බලන විට වාරණ, පිළිකුත්තුව හා මාලිගාතැන්න යන ස්ථාන තුනම එකවර දර්ශනය වීම නෙත ප්‍රබෝධමත් කරන දර්ශනයක් වුණා. මෙතැන ඉඳන් බැලුවම සියනෑ කෝරලේ විශාල වපසරියක් පෙනෙන අතර සියනෑ මෙය සියනෑ කෝරලයේ තිබෙන උසම ස්ථානයක් බව අමුතුවෙන් කිවයුතු නැහැ.

පෙට්ටගම් ගලේ ලස්සන බලල අපි ස්වාමීන්වහන්සේව බැහැ දැක්ක. ඇත්තටම උන්වහන්සේලා සසර කලකිරී නිවන් දැකීමට උත්සහ ගන්න බව අපට හැඟුනා. මෙවන් සිල්වත් භික්ෂූන් නිසා ශාසනය රැකෙනවා මිස; භාවනා මධ්‍යස්ථාන කඩ බවට පත් කරගත් ඇතැම් චීවරදාරීන් නිසා ශාසනය කෙලෙසී යන බවද අප මතක තබා ගත යුතුයි. හාමුදුරුවන් පවසන පරිදි නරි, වල් ඌරන්, රිලවුන් හා හඳුන් දිවියන් නිතරම මේ ප්‍රදේශයේ සැරිසරනවාලු. අනික් කාරණය තමයි පෙට්ටගම් ගලට යටින් තියන ගල් ස්ථරයේ ගල් ගුහාවක් පවතින බවත් එදවස වළගම්බා රජුන් එහි වැඩසිටි බවටත් උන්වහන්සේ හෙළිදරවු කලා. ඒ විතරක් නෙමේ අපිට එතනට යන පාරත් පෙන්නුවා. හැබැයි උන්වහන්සේ ගුහාව ඇතුලට යද්දී නරි රංචුවෙන් ප්‍රවේශම් වන්න කියල අවවාදයකුත් දුන්නා.

ගල්ගුහාවට බසින්න පැවතියේ දල බෑවුමකින් යුතු පර්වතයක්. කොහොමින් කොහොම හරි බැහැ ගත්තා කියමුකෝ. මෙන්න වැඩක්… පල්ලෙහා පෙට්ටගම් ගලට අයිති කොටසක් ගල් කඩනවා. මේවා ජාතික අපරාද.. කවුද මේවට ඉඩ දුන්නේ? හරි, අපි අපේ ගමන යමුකෝ.. හිමින් සීරුවේ ගලින් ගලට අඩිය තියල ඉදිරියට ගිය අපට දුටු දසුන අදහාගත නොහැකි වුණා. පෙට්ටගම් ගලට කෙලින් ඊට යටින් ඇති ගල් ස්ථරයේ මීටර් 100 ක් පමණ පහතින් ඇති මේ ගල් ගුහාව පුළුල් විවරයකින් ගල් ගුහාව සැදී තිබෙනවා. රජතුමා සැඟවී සිටි අවධියේ මිට ඉහතින් ඇති පෙට්ටගම් ගල ආරක්ෂාව සඳහා ප්‍රයෝජනයට ගත්තාද? හරිම ප්‍රශ්නයක්. ඒ විතරක් නෙමේ සොබාදහමේ අනර්ග නිර්මාණයක්.

ගිය පාර ඉතිහාස පාඩම නතර කලේ වළගම්බා රජු සියනෑ කෝරලයේ සිටින අවදියේ අනුරාධපුරයට මොකද වුනේ කියන ප්‍රශ්නාර්තයත් එක්ක. අද මං කියන්නම් මොකද ඇත්තටම වුනේ කියල. 16 වසරක් අනුරාධපුරය පාලනය කලේ ද්‍රවිඩ රජවරු පස් දෙනෙක්. ඒ කියන්නේ ක්‍රිස්තුපූර්ව 104 ඉඳන් ක්‍රිස්තුපූර්ව 88 වෙනකම්. පළමුවෙන් රජ වුනේ පුල්ලහත්ත. නමුත් ඔහුට රජ කරන්න හැකිවුණේ අවුරුදු 3 ක් පමණයි. පුල්ලහත්තගේ හමුදපති භාහිය ඔහුව ඝාතනය කර අවුරුදු දෙකක් ගතවීමට මත්තෙන් ඔහුගේ හමුදාපති පන්‍යමාර්ක ඔහුව මරා අවුරුදු හතක් රජ වුණා. එත් කර්මය පලදෙන හැටි කියන්නේ.. පන්‍යමාර්කව ඝාතනය කර ලුතිනන් පිලයාමරක රජවුනත් ඔහුගේ පාලනය හත් මාසයකට සීමාවුණේ ඔහුගේ හමුදාපති ධාතික ඔහුව මරා රජවීම නිසයි. වළගම්බා රජතුමා සටන් කෙළේ මේ ධාතික රජතුමා එක්ක තමයි. ක්‍රිස්තුපූර්ව 88 දී වළගම්බා රජතුමා යලි රජවුණා.

ඉතිහාසයත් දැනගත්ත එකේ. ගල් ගුහාවට ඇතුල් වෙමුකෝ. මීටර් 10 ක් විතර නැවිල තමයි යන්න ඕන. ඊට පස්සේ නැගිටලා යන්න පුළුවන් සමහර තැන් අඩි 7 කට වඩා උසයි. මේ ගල් ගුහාව හිතුවාට වඩා ගොඩක් විශාලයි. මේකේ තිබිල වළගම්බා රජු භාවිතා කළ උපකරණ හම්බවෙලා තියනවා. කොහොමහරි හෙමින් හෙමින් කට්ට කරුවලේ ඉදිරියට ඇදුනු අපට නරියන් ගැන භයකුත් ඇති නොවුනාම නෙමෙයි. සතුන්ගේ වසුරු ගඳ ඉවසීමට නොහැකි තරම්. කනේ වැදී නොවැදී වවුල් රැලක් ඉගිලුනේ මේක ඔවුන්ගේ රාජධානිය බවට ඉඟියක් දෙමින්.

හෙමින් හෙමින් ඉදිරියට ගිය අපට මීටර් 100 ක් පමණ යනවිට කුඩා විවරයක් දැකගත හැකි වුණා. මෙතනින් එලියට යාමට ආපහු නැවී ගමන් කිරීමට සිදුවුණා. කොහොමහරි එලියට ආපු අපිට ඇතුල්වුනු දොරටුව පෙනුනේ මීටර් 150 ක් විතර දුරින්.

ආපහු පෙට්ටගම් ගල මතට නැගී අපට ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ රදල පවුලකට අයිති දික්කන්ද බංගලාව ඈතින් දිස් වුණා. දැන් විදේශිකයකුට අයිති මෙය ගවේෂණයට ඉඩ නොදෙන බවයි ආරංචිය. මෙය ඉදි කිරීමට අවශ්‍යය සියලුම මුලද්‍රවය එංගලන්තයෙන් ගෙන ආ බවයි කියවෙන්නේ.

දන්නෙම නැතිව සැහෙන්න වෙලාවක් අපි “ඉසිවර තපෝවනයේ” ගතකරලා තියෙනවා. හැබැයි ඒ හැම තප්පරයක්ම වැදගත් වුණා කියන එක රහසක් නෙමෙයි. එහෙමනම් ඉතින් අයෙත් හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට ඔබෙන් සමුගන්නවා.

nadegura.com


More News »