රටම එක්වන කතරගම

2017-09-20 10:32:00       517
feature-top
කි‍්‍රස්තු පූර්ව හය වන සිය වස තෙක් දිව යන ඉතිහාසයක් කතරගමට ඇත්තේ ය. වංශ කතා අනු ව, කතරගම ප‍්‍රාදේශීය බෞද්ධ රාජ්‍යයකි. රෝහණ (රුහුණු) රාජධානියේ කේන්ද්‍රස්ථානය වූ යේ ද, කතරගම ය. මේ ප‍්‍රාදේශීය රාජ්‍ය පාලනය කෙළේ, මහාඝෝෂ හෙවත් මහාසේන නම් පාලකයා ය. බුදු සමයේ ලංකාව පාලනය වූ යේ ප‍්‍රාදේශීය රාජ්‍යයන් මගිනි. යාපා පටුන හෙවත් නාගදීපය මහාකුස (මහෝදර) රජු යටතේත්, සපරගමුව මහා සුමන (සුමන සමන්) රජු යටතේත් පාලනය වූ අතර, කැලණිය පාලනය කෙළේ, මණිඅක්ඛිත රජු ය. මේ ප‍්‍රාදේශීය රජවරුනට සමකාලීන ව කතරගම සිට රුහුණ පාලනය කැර ඇත්තේ, මහසේන රජු ය.යක්ෂ දමනය පිණිස බුදු රදුන් ඌවේ, බිම් තැන්නේ මහනාග උයනට වැඩම කළ බව මහවංශ කතුවරයා කියයි. (මහ වංශය - පරිච්ඡේද 01 - ගාථා 22) තෙ වන වර වැඩම කළ අවස්ථාවේ දී, බුදු රදුන් කතරගම කිහිරි වනයකට වැඩිය බවත්, එහි දී මහසේන රජුට දහම් දෙසා, කතරගම ආරක්ෂාව ඔහුට පැවැරූ බවත්, ධාතුවංශයෙහි දැක්වේ. (ධාතු වංශය - පිටුව 08)බුදු හිමියන් වැඩ සිටි එ දා වූ කිහිරි වනයේ, මහසේන රජුන් කිරි වෙහෙර ඉදි කළ බව, අප හමුවේ ඇති ජනප‍්‍රවාදවලින් තහවුරු ය. කිරි වෙහෙර ඉදිරි පිට ඇති රාජ ප‍්‍රතිමාව මහසෙන් රජුගේ පිළිරුව යැයි මහාචාර්ය මැන්දිස් රෝහණධීරයෝ සඳහන් කරති. මෙකී තොරතුරු අනු ව අනුබුදු මිහිඳු හිමියන් වඩින්නටත් පෙර, කතරගම වැසියන් බෞද්ධයන් ව සිටි බව නිගමනය කළ හැකි ය.අනුරාධපුර මහමෙවුනාවේ ජය ශී‍්‍ර මහ බෝධි රෝපණ උත්සවයට කතරගම වුසූ ක්ෂතී‍්‍රයන්ට ඇරියුම් කළ බවක් මහ වංශයේ දැක්වේ. (මහ වංශය 19 පරි: ගාථාව 53) ඒ කාලය වන විට එ නම් දේවානම් පියතිස්ස රජු කාලයේ දී කතරගම පාලනය කැර ඇත්තේ, ක්ෂතී‍්‍රයන් නම් වූ ඈපා පිරිසකි. ඔවුහු බෞද්ධයෝ ය. ජය ශී‍්‍ර මහ බෝධීන් වහන්සේ ගෙන් පැන නැගි බෝ අංකුර අටෙන් එකක් දෙවන පෑතිස් රජු විසින් කතරගම ක්ෂති‍්‍රයන්ට ලබා දී ඇත. (මහ වංශය පරි: 19 - ගාථා 62) කතරගම මහ දේවාලය අසල දක්නට ඇත්තේ, දෙ වන පෑතිස් රජු අතින් ක්ෂතී‍්‍රයනට ලැබුණු අෂ්ට ඵල රුහ බෝධීන් වහන්සේ ය.දුටු ගැමුණු රජතුමා සහ කතරගම අතර බැඳුණු ඉතිහාසයක් ද මේ අතර ඇත්තේ ය. ලංකාව එක්සේසත් කිරීම ගැමුණු රජුගේ එක ම අරමුණ වී ය. ඒ සඳහා කතරගම දෙවියන්ට භාර වූ බවත් ජනප‍්‍රවාදයේ එයි. යුද්ධයෙන් දිනු පසු මහාසේන දෙවියන් උදෙසා කැර ඇත්තේ මහල් තුනකින්, කාමර හතකින් යුත් මාලිගාවක් වැනි දේවාලයකි. (කඳ කුමර සිරිත) විදේශීය ආක‍්‍රමණවලින් ඒ මහ දේවාලයත් එහි තුබු කෞතුක වස්තු සියල්ලත් විනාශ වී ගොස් ය. අද දක්නට ඇති දේවාලය ශත වර්ෂ පහකට වඩා පෙන්නුම් නො කරයි. (කතරගම පුද සිරිත් - පිටුව 49)දුටු ගැමුණු සමයේ, කතරගම මහ දේවාලයේ බස්නායක ධුරයට පත් කැර ඇත්තේ ගැමුණු රජුගේ බෑණා කෙනෙකි. අතීතයේ දේවාලයේ කපු තනතුර සඳහා ගැමුණු රජතුමා විසින් ඔහුගේ යෝධයකු ව සිටි නන්දිමිත‍්‍ර පත් කළ බවත් මුඛ පරම්පරාගත ව එයි. (කතරගම පුද සිරිත් - පිටුව 63)මේ ආකාරයෙන් වූ, කතරගම චිරාගත බෞද්ධ සම්ප‍්‍රදාය ක‍්‍රමයෙන් බිඳ වැටුණේ, සුදු අධිරාජ්‍යවාදීනට ලංකාව යටත් වීමෙන් පසු ව ය. 1873 වන විට කතරගම හැඳින්වූයේ, "හින්දූන්ගේ පූජනීය පුරවරය" යනුවෙනි. ඒ බව ඉංගී‍්‍රසි ජාතික හර්බට් වයිට්ගේ වාර්තාවක දැක්වේ. හින්දු සංස්කෘතිය රට පුරා ප‍්‍රචලිත ව ගියේ, මහනුවර යුගයේ දී ය. ඉන්දියානු වතු කම්කරුවන් ලංකාවට ගෙන්වීම ද හින්දු සංස්කෘතියේ ව්‍යාප්තියට තුඩු දුන් බලවත් හේතුවක් ලෙස සැලැකිය හැකි ය. මේ හේතු නිසා, කතරගම දෙවියන් ලෙස සැලැකූ මහාසේන ස්කන්ධ කුමාර ලෙස ආරෝපණය වී ය. (කතරගම පුද සිරිත් - පිටුව 43)කතරගම මහ දේවාලයේ පළමු පූජකවරයා කලණනාථ නැමැත්තකු බව ද කියැවේ. එහෙත් ගැමුණු රජුගේ නියෝගය පරිදි කතරගම දේවාලයේ තේවා කටයුතු සියල්ල කැරෙනුයේ, සිංහල බෞද්ධයන් අතිනි.බස්නායක නිලමේ ප‍්‍රදීප් නිලංග දෑලබණ්ඩාර මහතා පවසන අන්දමට කතරගම පෙරහර කාලය තුළත්, අනෙක් සාමාන්‍ය දිනවලත්, දේවාලයේ හැම චාරිත‍්‍රයක දී ම, මුල් තැන දී ඇත්තේ, බෞද්ධ වත් පිළිවෙත්වලට ය. මේ අනුව අපට සිතා ගත හැක්කේ, දේවාලයේ කැරෙන පූජා කටයුතු බෞද්ධ සහ හින්දු සංකල්ප ඔස්සේ කැරෙන බව ය.කතරගම පුද බිමේ දේවාල සහ කෝවිල් ගණනාවකි. දේවාලවල තේවා කටයුතු කරනුයේ, සිංහල - බෞද්ධ කපුරාළලා ය. හින්දු පූජකවරුන් (පූසාරිලා) අතින් කෝවිල්වල කටයුතු කැරේ. මේ පුද බිමේ දැකිය හැකි තවත් දේවස්ථානයක් වේ. එය වල්ලි අම්මා දේවාලයට යාබද ව පිහිටා ඇති මුස්ලිම් දේවස්ථානය යි. මේ දේවස්ථානය ඉදි කැර ඇත්තේ, පකීර්වරුන් ලෙස සැලැකෙන ඉන්දියාවේ සිට පැමිණි මුස්ලිම් පිරිසකි. ඔවුන් කතරගමට පැමිණ ඇත්තේ, කි‍්‍ර.ව. 1873 දී පමණ ය. ලාංකික මුස්ලිම්වරු කතරගම කෙරෙහි එ තරම් සැලැකිල්ලක් නො දැක්වූ හ. ඒ නො සැලැකිල්ලට හේතුව කතරගම කොලරාව සහ කෝපිවලට වසංගත රෝග බෝ කරන මධ්‍යස්ථානයක් ලෙස විශ්වාස කළ හෙයිනි. (කතරගම පුද සිරිත් - පිටුව 15) අද කතරගමට ලංකාවේ මුස්ලිම්වරුන් සිය දහස් ගණනින් පැමිණෙන බව දැක ගත හැකි ය.පෙරහර කාලයේ දී උතුරු - නැගෙනහිර හින්දු ජනතාවගෙන් කතරගම පුරවරය පිරී පවතී. ඒ අතර මුස්ලිම් භක්තිකයෝ ද එමට වෙති. හැම ජාතියකට ම, හැම ආගමකට ම පොදු වූ පුද බිමක් හැටියට සැලැකිය හැකි ය. ඒ නිසා කතරගම පෙරහර පැවැත්වෙනුයේ, බෞද්ධයන්ගේ සැදැහැති "සාධු" හඬත්, හින්දූන්ගේ "හරෝ හරා" බැති ගී පේවිළියත්, මුස්ලිම්වරුන්ගේ "අල්ලා" යාච්ඤා හඬත් මධ්‍යයේ ය. මෙය වූ කලී ජාතික සමගිය කුළු ගැන්වෙන අවස්ථාවෙකි. තවත් අතකින් පවසතොත්, කතරගම පෙරහර - ජාතික සමගියේ පෙළහරකි.

Wmqgd .ekSu oekqu weiqfrks

More News »