රිදී විහාරයේ බිතු සිතුවම්

2017-08-31 12:41:00       517
feature-top
කුරුණෑගල මහනුවර පාරේ මල්ලවපිටිය හන්දියෙන් හැරී ඉඩම් පිටිය බසයෙන් දහවන සැතපුම් කණුව තෙක් ගිය විට රිදී විහාරය අපට හමුවේ. රිදී විහාර මාවත ආරම්භයේදී රිදී විහාර දේවාලය හමුවේ. විහාරයට පිවිසෙන දොරටුවේ සිට විහාරය දක්වා ඇති ගල් පඩි අනුරාධපුර යුගයට අයිති ඒවායි සැලකේ.අනුරාධපුර යුගයේ බිහි වූ විශිෂ්ඨ ස්ථානයක් ලෙස මේ රිදී විහාරය හැඳින්විය හැක. යුග කිහිපයක විකාශනයක් ලෙසද රිදී විහාරය අපට හැඳින්විය හැක.උඩ විහාරය යන කොටසේ බිතු සිතුවම් දක්නට ඇත. රිදී විහාරයේ ඉතා කලාත්මක මකර තොරණක්ද ඇත. මෙහි එන බිතු සිතුවම් අතර සොළොස්මස්ථානය , සූූවිසි විවරණය , හංස පූට්ටුව, නවනාරි කුංජරය , ගජසිංහ නරසිංහ රටා මෝස්තර මේවා අතර ඉතා විශේෂත්වයක් ගනියි.

රිදී විහාරය දුටු ගැමුණු රජතුමා විසින් කරවන ලදැයි බොහෝ දෙනාගේ මතය වේ. මෙහි ප‍්‍රතිමා කර්ම අනුරාධපුර යුගයට අයිතිවන අතර චිත‍්‍ර මහනුවර යුගයට අයත්වේ.මේ චිත‍්‍ර කර්ම අතර කුඩා කොටු තුළ ඒකාකාරීව ධ්‍යාන සුවයෙන් වැඩ සිටින බුද්ධ රූප බිත්ති පිරෙන සේ ඇඳ ඇත. ඒවාහි රශ්මි මාලාව එම හතරැස් කොටු අනුරුවක් ගෙන ඇත. මේ අයුරින්ම මහනුවර ගංගාරාම විහාරයේ බුද්ධ රූපද ඇඳ ඇත. විහාරාධිපති හාමුදුරුවන් පවසන අන්දමට, මේ චිත‍්‍ර වර්ණ ගන්වා ඇත්තේ ශීී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජුකාලයේය.මුල් කාලයේ මෙම චිත‍්‍ර ඇඳ ඇත්තේ දෙවරගම්පළ සිල්වත් තැන විසිනුයි. පසු කලෙක මෙම විහාරයේ අලුත් වැඩියා කිරීම තිලගම සිත්තර පරම්පරාව විසින් කර ඇත.විහාරය ඇතුළත චිත‍්‍ර අතර සත්සතිය චිත‍්‍රයට නගා ඇති අතර දෙවන සතිය චිත‍්‍රයකට නගා ඇත්තේ වෙනත් තැන්වල දක්නා ආකාරයට වඩා වෙනස් ලෙසය.

අනිමිසලෝචන පූජාවේදී බුදුන් වහන්සේගේ දෙඅත් ගල් විහාරයේ හිටි පිළිමයේ දෑත් බැද තබා සිටින අයුරු පෙන්වයි.සූවිසි විවරණය දක්වන චිත‍්‍රයේ බෝගස මුල හැඩය දක්වන සේ කොළ ඒකරාශි කොට බෝගස දැක්වීම මෙහි විශේෂයකි. මේ විහාරයට යාබදව පිහිටා ඇති නාග ගුහා ප‍්‍රවේශ බිත්තියේද සිතුවම් ඇඳ ඇත. නාවතාරි කුංඤ්ජරය ,ගජසිංහ යුගල , ඉර , හඳ හා මල් වට්ටියක් දරණාකාරයෙන් නිරූපිත කපුවන් රූ යුගල හැඩ තුළින් බිත්තිය අලංකාර කර ඇත.චිත‍්‍ර මෙන්ම ගල් හා ඇත්දත් කැටයම් වලට මෙම විහාරය ඉතා ප‍්‍රසිද්ධය. රිදී විහාරයේ චිත‍්‍ර අතර විශේෂ ලක්ෂණය වශයෙන් දෙගල්දොරුවේ මෙන් එකම රූප රාමුවක අවස්ථා දෙක තුනක් දක්වා තිබීම දැකිය හැක.මහනුවර යුගයේ මූලික වර්ණ වලට අමතරව අළු, නිල්, කොළ, යන වර්ණ යෙදීමද චිත‍්‍ර ශිල්පියා විසින් ඇඳීමේදී කර ඇත. වළාකුළු වැනි දේ ඇඳීමේදී එකම තීරුවේ එක් කොටසක් සේ රූප රාමුව පිරුණු ගතියකින් යුක්තව ඇඳ තිබීමද විශේෂයකි. දේවානම්පියතිස්ස රජු සීමා ලකුණු යෙදීමේදී ස්ථානය ඉහළින් වළාකුළු යොදා එර්දියෙන් වැඩීමේ චිත‍්‍ර මෙයට නිදසුන් වශයෙන් දැක්විය හැක.මේ චිත‍්‍රවල පසුබිම අළු පාටින්ද සමහර ස්ථාන වල දැක්වීමද විශේෂ ලක්ෂණයකි. වළාකුළු සඳහා නිල්ද ගංගා සඳහා අළු වර්ණය ද , මේවායේ යොදා ඇත.ගස් කොළන් ස්වාභාවිකත්වයට නැඹුරුව සම්මත ක‍්‍රම වලට ඇඳ ඇත. ගස් වල මුදුන් කොළ, දළු , ලා වර්ණ වලින්ද පහත කොළ තද වර්ණ වලින් දැක්වීමද ඉහත කී කාරණයට ප‍්‍රබල නිදසුනකි.කෙසේ වෙතත් රිදී විහාරය රැක ගැනීම අප කාගේත් සතු වගකීමකි.

More News »