අසිරිමත් බුදුරැවගල

2017-08-30 01:27:00       517
feature-top
හස්තියකුගේ විලාසය පාමින් මහ වන මැද විසල් ගල් පව්වක් ගාම්භීීරව එසවී සිටී. එහි එක් මුහුණතක මැදින් අභය මුද්‍රාව සහිත බුදුරුවක් නෙලා ඇත්තේ තවත් නෙලන ලද පිළිම 6ක් දෙපසින් තිබිය දී ය. මෙහි දී යම් අපූර්වත්වයක් සටහන් වේ.මේ චාරිකාව කතරගම, තිස්සමහාරාම, කිරින්ද වැනි විනෝද චාරිකා යන අතරතුරු වුව ද දැක බලා ගන්නට ම වටිනා ස්ථානයකි. ගමන් මග කොතැනින් පටන් ගත්තත් වැල්ලවාය තණමල්විල මගෙහි කිලෝමීටර් පහක් පමණ ඉදිරියටයත් ම හමුවන 48 සැතපුම් කණුව අසලින් හැරෙන ගුරුපාර හරහා ගමන ඇරඹීම අගී.ඓතිහාසික වටිනාකමට ම මුසු වූ පාරිසරික වටිනාකම් සේ ම බුදුරුවගල ආරණ්‍ය සේනාසනය ද ඇතියෙන් මෙහි ආගමික වටිනාකම ද බොහෝය. ගුරුපාර දිගේ වාහනයෙන් යන අතර සැතපුම් 4ක් පමණ පසුකරයාමට සිදුවුවත් අපේ වෙහෙස නිවාලන්ට ම සුවිශේෂි වූ මනබඳිනා දසුන් කීපයක් ම හමුවේ. කකුළක් ඔසවාගෙන කොළ හැලුනු ගසේ අරාසිටින්නේ දියාශ‍්‍රිතව නිතර රැඳෙන කොක් විශේෂයකි. වන අරණ වටපිටාවේ අලින්ගෙන් ද අඩුවක් නැත්තෙන් හවස්වන්නට පෙරාතුව ගමන ඉක්මන් කෙරුවෙමු.දැන් අපි මේ පසුකරන්නේ බුදුරුවගල වැවයි. ඒත් අද එහි තැනින් තැන වතුර රැදී තිබුණත් එකල බුදුරුවගල ළඟට එනතුරු ම වතුර තිබී අක්කර ගණනාවක කුඹුරුවලට ජලය සපයන ලද මහා වාරිමාර්ග පද්ධතියක් ව තිබූූ බවට සාක්කි ඇති බවට බුදුරුවගල ප‍්‍රදේශයේ පදිංචි අත්තනායක නිලමේ මහත්මයා පවසන්නේ ඒවායේ නටඹුන් ද පෙන්වමිනි. ‘මේක එසේ මෙසේ වනාන්තරයක් නම් නොවෙයි. උඩවලව ජාතික වනෝද්‍යානයේ ම එක් කොටසක්’ වන සතුන්ගෙන් නොඅඩු මහා වනවදුළක තුරුවැල් දිස්වෙන්නේ ඒ සශ‍්‍රීකබව අපිට කියා පාන ලෙසිනි.දැන් වාහනයකින් ගමන යාමට අපට අවසරයක් නැත. මේ දිස්වෙන්නේ වත්මන් බුදුරුවගල සෙනසුනයි. වන සතුනගේ ගැහැට ඇතත් වන අරණක බණභාවනාදිය කරමින් නිසන්සලව ගෙවන්නට ලැබෙන සැනසිල්ලනම් අපමණයි.

මෙතැන් සිට හමුවන ගුරුපාරෙන් පයින් ඇවිද වනය තුළට පිවිසීමට ඇත්තේ කෙටි දුරක් පමණි. දැවැන්තයෙකු සිටිනු පෙනේ. ඒ පනපිටින් ම දැයි සැකයකි. විශාල නුගගසින් තරමක් ඉදිරියට ගිය තැන එය වඩා හොඳින් දිස් වේ. ඒ දැවැන්තයෙකු ගේ හැඩය ගත් ගල් පව්වයි.අතකින් චීවරය ද අනෙක් අතින් අභය මුද්‍රාව ඇති අඩි 51 ක් උසැති බුදුපිළිම වහන්සේ ගලමතුකර නෙළා ඇත්තේ ඉදිරිපස බලාසිටින ඉරියව්වෙකි. දකුණු පසින් අවලෝකීතේස්වර, සුදන කුමාර, තාරාදේවී පිළිම ද දැකිය හැකි වේ. තාරාදේවී පිළිමය තිවංක හැඩයක් ගනු ලබන අතර ම සුදු පිරියම් කළ අවලෝකීතේෂ්වර පිළිමය ද සුවිශේෂි වේ. මහායානික දහමට අනුව මෙම පිළිම ඉතා වැදගත් ය.අඩි 51 ක් උස්ව නෙලා ඇති මෙම බුද්ධ ප‍්‍රතිමාව ලංකාවේ වැඩි ම උසින් යුත් ගල්තලය මත මෙසේ නෙළන ලද පිළිම ද වන්නේ ය. එහි වම්පසින් ඇත්තේ වජ‍්‍රපානි බෝසත්රුව, මෛතී‍්‍ර බෝධිසත්ව රුව හා තවත් බෝසත් රුවකි. තිබෙන රූප සංඛ්‍යාව තුළින් ගල්තලාව මත සමබරතාව සුරකින්නට කලාකරුවා උත්සාහ කළත් බුදුපිළිමය හා ගත් කළ අනෙක් පිළිම නෙළීම් එතරම් උස් නොවේ. සියල්ල ම උස අඩි 6 - 8 වඩා වැඩි නොවේ. මේ පිළිම ගල්පව්ව හාරා නෙළා ඇති අතර ම බදාමයකින් යළි මතු කර තිබෙන්නට ඇතැයි ද මත පවතී. පුරා විද්‍යා සාධකවලට අනුව මෙය කි‍්‍ර. ව. 8 - 9 අතර කාලයට අයිති විය හැකි බව ඓතිහාසික වටිනාකම් ගණයේ දී සොයාගැනේ. වළගම්බා රජු දවසට අයිතිවිය හැකි බවට ද සාධක පවතී. දෝවරජමහා විහාරයේ දී මීට සමානව බුදුරුවක් නෙලා ඇතියෙන් එහි සත්‍යතාවක් ද තිබිය හැකි ය.

 මෙම ස්ථානය ආසන්නයේ තිබී තවත් ස්ථූපයක නටබුන් ද හමු වී ඇත. වැව් දිය ඉස්මත්තේ තිබුණු මෙම චෛත්‍යය සමග ඒ මත වැලළුණු ගොඩනැගිල්ලක සුන්බුන් ද සොයාගෙන ඇත.වසර 1986 දී බුදුරුවගල භාවනා මධ්‍යස්ථානය ‘සත්‍යකි‍්‍රයා’ නමින් පිහිටුවාගෙන තිබේ. වනඅරණේ විශාල වපසරියේ පළින්පළ භාවනා කුටි බවුන් වඩන්නට වේලුවනයක් නිමවා දෙන්නේ වන සතුන්ගේ ශබ්දවලට පමණක් නගන්නට දී නිහැඩියාව සුරකිමිනි. භාවනානුයෝගීී භික්‍ෂුන්ට මේ වනය නිවන්මගට පිවිසෙන්නට නවාතැනක් සැපයුවා නම් ඒ පුදුමයක් නොවේ. අප සමඟ මේ ඔබත් සැරිසරන්නේ එවන් අපූර්වතර සොඳුරු නිසල පරිසරයක පිහිටි වන අරණකට ය.පළින් පළ වන දිය පිරි වැව් අමුණුවල සිරිය විඳින්නට විටෙක මොණරුන් ද පක්‍ෂි විශේෂ රාශියක් සේ ම මුවන්, ගෝනුන් පැමිණෙන්නේ මේ බුදබිම දැක සිත්පහන් කරගන්නට සිතා ගෙන ම ය. අව්වැසි දරාගෙන තේජමානව එස වී සිටින විසල් ගල් පව්ව තිබුණත් කලෙක පියස්සක් දැන් එය කුස්තුර පමණක් ඉතිරි කර කාලයේ හා පුදබිමේ වැලිතලාවලට යට වී ඇත. අප වන මැදින් නික්ම යන්නේ කෞතුකාගාරයේ වන පැරැණි වටිනාකම් ද නරඹා ය. පුරාණයේ ;ම් මග ද වන වදුලේ සැඟවී තිබෙන්නට ඇති. මේ ‘බුදුරුවගල නම් ස්ථානය ද අහඹු සොයාගැනීමක් වන්නේ එනිසා ය.

ස්තුතිය - එක්සත් ජාතීන්ගේ නිවර්තන වනාන්තර ප‍්‍රවර්ධන ව්‍යාපෘතියට, ශී‍්‍ර ලංකා හරිත මිතුරෝ පරිසර සංවිධානයට.


More News »