කැප්පෙටිපොල හිස්‌ කබලේ ඇත්ත කතාව මෙහෙමයි
වීරයකුගේ හිස්‌ කබල සගවන්නේ ඇයි ?

2017-08-28 01:07:00       517
feature-top
2017-06-11 වැනි දින දිවයින ඉරිදා සංග්‍රහයේ "වීර කැප්පෙටිපොල නිළමේතුමාගේ හිස්‌කබල ප්‍රදර්ශන භාණ්‌ඩයක්‌ නොවේ" යන මැයෙන් පර්ල් කරල්ලියද්ද මහත්මිය ලිපියක්‌ පළ කර ඇත. එයට පාදක වූයේ මවිසින් 2017.04.23 වන දින ඉරිදා දිවයින පුවත්පතේ "කැප්පෙටිපොල හිස මහජන ප්‍රදර්ශනයට තබමු" මැයෙන් පළකළ ලිපියේ සාවද්‍ය කරුණු ඇතුළත්ව ඇතැයි චෝදනාවක්‌ නඟා තිබූ හෙයිනි. ඒ පිළිබඳ පාඨකයාට ලිත සාධකයන් ඇතුළත්ව සත්‍ය තොරතුරු හෙළි කිරීම මෙම ලිපියේ අරමුණ වේ.

ඇත්තෙන්ම මවිසින් කැප්පෙටිපොල පරම්පරාව ඇතුළත් ලිත ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබුවේ පර්ල් කරල්ලියද්ද මහත්මිය කළ ප්‍රකාශයක්‌ නිවැරදි කිරීමටය. එතුමිය කැප්පෙටිපොල දිසාවයන්ගේ ඉදිරි පරපුරේ සිව්වැනි පරම්පරාවේ දියණියක්‌ යෑයි පවසා තිබු හෙයිනි. එලෙස ඉදිරිපත් කරන පරම්පරා සටහනෙහි එතුමියගේ සීයා වැනි (1959 වසරේ මියගිය) එඩ්මන්ඩ් කැප්පෙටිපොල නිළමේ අයත් වනුයේ (6) හය වන පරම්පරාවටය. එහෙයින් එතුමාගේ මිණිබිරියකි. එම පරම්පරාවේ සඳහන් කර ඇති දරුවන් (8) අට දෙනෙක්‌ සිටි බව සත්‍ය යෑයි එතුමිය පිළිගෙන ඇත. එය වඩාත් තහවුරු වන කරුණක්‌ වනුයේ දැනට මාතලේ හුලංගමුව වලව්වේ පදිංචිව සිටින ධන රංජනී කැප්පෙටිපොල මහත්මියද අයත්වනුයේ (6) හයවැනි පරම්පරාවේ මිණිබිරියක ලෙසයි. එහෙයින් කරල්ලියද්ද මහත්මියගේ ප්‍රකාශය සාවද්‍ය වේ. එසේ නොවන්නේ නම් නිවැරදි ලේඛනගත ලියවිල්ලකින් පරම්පරාව දැක්‌විය යුතුව ඇත.

කැප්පෙටිපොළ පවුලේ මුල්ම පාරම්පරික නිජබිම වන්නේ සතර කෝරළයට යාබදව පිහිටා ඇති ගල්බොඩ කෝරළයේ කැප්පෙටිපොල ග්‍රාමයයි. කැප්පෙටිපොල රාජපක්‍ෂ වික්‍රමසේකර බණ්‌ඩාරනායක යනු මෙම පරම්පරාවේ සම්පූර්ණ නාමයයි.

එයින් පසුව කැප්පෙටිපොල නායකයා මාතලේ හා තමන්කඩුවේ මහ දිසාපති තනතුරට පත්කරන ලදින් මාතලේ උඩසිය පත්තුවට යාබද උඳුගොඩ ග්‍රාමයේ මොනරවිල කුල කාන්තාවක්‌ සරණපාවාගෙන මොනරවිල අභිනව වාසභූමිය කර ගත්තේය. එතැන් පටන් කැප්පෙටිපොල වරුන්ගේ නාමයට මොනරවිල ග්‍රාම නාමය එක්‌ව තිබේ. ඒ බව පහත සඳහන් සටහනින් වඩාත් තහවුරු වේ.

සිංහල යුද සේනාවෙහි පෙරමුණුකඩ සදන ඓතිහාසික සතර කෝරළය බද පිහිටි ගල්බොඩ කෝරළය වනාහි කැප්පෙටිපොල පවුලේ නිජ භූමියයි. අලගියවන්න මුකවෙටිතුමාගේ සහාය ඇතිව ඇන්ටාවෝ වාස්‌ පෙරෙයිරා විසින් පෘතුගීසි සමය තුළ සකස්‌ කරන ලද තෝම්බුවෙහි සඳහන් වන ක්‌වෙප්පිටිපල්ල (කැප්පෙටිපොල) කැප්aපිටිපොල පරම්පරාවෙහි ප්‍රවේණි ග්‍රාමය වේ. කැප්පෙටිපොල රාජපක්‍ෂ වික්‍රමසේකර බණ්‌ඩාරනායක යනු මේ පරම්පරාවෙහි සම්පූර්ණ නාමයයි.

ක්‍රිස්‌තු වර්ෂයෙන් අටළොස්‌ වැනි ශත වර්ෂය ආරම්භ වනවාත් සමඟම එදා සිටි කැප්පිටිපොල වංශයේ නායකයා මාතලේ සහ තමන්කඩුවේ මහ දිසාපති තනතුරට පත්කරන ලදින් මාතලේ දිසාවනියට (දිසාවනිය යනු දිසාව කෙනෙකුගේ යටතෙහි පවතින කොටසයි) ගොස්‌ එහි උඩසියපත්තුව බද උඳුගොඩ ග්‍රාමයෙහි මොනරවිල වංශාභිජාත කුල කාන්තාවක්‌ සරණ පාවා ගත්තේය. යන්නය.

(කැප්පෙටිපොල දිසාව - ජාතිය වෙනුවෙන් දිවි පිදූ වීරයා රජයේ මුද්‍රණාලය - 1954 සැප්. 11)

එතුමියගේ 2017.06.11 වැනි දින ලිපියෙන් මෙසේ දක්‌වා ඇත. එතුමාගේ හිස්‌ කබල මහනුවර ස්‌මාරකයේ තැන්පත් කිරීමට පෙර ප්‍රදේශවාසීන්ට ගෞරව දැක්‌වීමට ඉඩ සැලසීම පිණිස 1954 නොවැම්බර් 25 වැනි දින මොනරවිල ග්‍රාමයටද ගෙන ගොස්‌ ඊට යාබදව පිහිටි පල්ලෙපොලදී ප්‍රදර්ශනය කරනු ලැබිණ. යන්නෙන් සඳහන් කර ඇත. එයද අසත්‍ය ප්‍රකාශයකි.

කැප්පෙටිපොල දිසාපති තුමාගේ හිස්‌ කබල 1954 නොවැම්බර් 17 වැනි දින ප. ව. 4.00 ට පෙරහරින් මහනුවර මඟුල් මඩුවට ගෙන ගොස්‌ එහි විශේෂ මණ්‌ඩපයක තබා 1954.11.26 වන දින අවසාන ගෞරවය දක්‌වන තෙක්‌ මහජන ආදර්ශනයට එහි තබා ඇත. එය වෙනත් ස්‌ථානයකට ගෙන ගොස්‌ නැත.

ඒ බව මධ්‍යම දිසාවේ දිසාපති තැන ඩබ්ලිව්. ඡේ. ඒ. වැන්ලෑන්ගන් බර්ග් තුමා නිකුත් කරන ලද රාජ්‍ය නිවේදනය මවිසින් 2017.04.16 හා 2017.04.23 ඉරිදා දිවයින පුවත්පත්වල පළ කර ඇත. එමගින් සත්‍ය අසත්‍යතාවය වඩාත් පැහැදිළි වනු ඇත.

එතුමිය මාතලේ හුලංගමුව වලව්වට වඩා ගම්පොළ උනම්බුවේ වලව්ව පැරැණි යෑයි ලිපියෙන් අඟවා ඇත. එහෙත් එම වලව්ව රජයට පවරාගෙන පාසල් ගොඩනැඟිලි ඉදිකර ඇත.

කැප්පෙටිපොළ අදිකාරම්තුමා වෙනුවෙන් ජීවමානව ඇත්තේ ඔහු අවසන් වරට වාසය කළ මාතලේ හුලංගමුව වලව්ව පමණි. වර්තමානයේ එහි භාරකාරත්වය හිමිව ඇත්තේ කැප්පෙටිපොළ දිසාවගේ 6 වන පරම්පරාවේ මිනිබිරියක්‌ වන ධනරංජනී කැප්පෙටිපොළ මහත්මියටය. මෑතක්‌ වනතුරුම එහි පහත මාලයේ කොටසක්‌ ප්‍රතිසංස්‌කරණය කර පදිංචිව සිට ඇත. අදින් වසර 198 කට පෙරාතුව කැප්පෙටිපොළ දිසාව මහනුවර රජ මාලිගයට යන එන ගමනේදී නවාතැන්ගත් මේ වලව්ව පසුව තම නිවහන ලෙස භාවිතයට ගෙන ඇත.

මෙම වලව්ව මහල් දෙකකින් යුක්‌ත වන අතර කාමර 14 කින් සමන්විත වේ. ඉහළ මාලය සදළුතලයකින් යුක්‌ත වන අතර, කුමාරිහාමිලා සඳහා කාමර වෙන් වෙන්ව සකසා ඇත. මෙහි දැසි දස්‌සන් 60 ක්‌ පමණ අන්තේවාසිකයන් ලෙස කටයුතු කර ඇති අතර අලි ඇතුන්ට ඇතුළු විය හැකි පරිදි උස්‌ බිත්ති, ආරුක්‌කු සහිතව ගොඩනගා ඇත. තවද මුළුතැන්ගෙය ඇතුළු මෙහි දිග්ගෙවල් හා මැද මිදුල් ඒ අතර විශේෂ වේ. මෙහි බිත්ති බොහොමයක්‌ සකසා ඇත්තේ වරිච්චියෙනි.

එදා මහා දිසාව ගොඩ නැගූ මහා වලව්වෙහි බිත්ති බොල්වී, දැවමය කොටස්‌, උළුවහු දිරාපත්වී අවදානම් තත්ත්වයක ඇති බවත් ධනරංජනී මහත්මිය පවසන්නීය. මෙය පුරාවිද්‍යා ස්‌මාරකයක්‌ ලෙස සංරක්‍ෂණය කිරීමේ යෝජනාව 2013 වසරේ සිට ලිපි හුවමාරුවකට පමණක්‌ සීමාවී ඇති බව පැවැසේ. එය වහා ප්‍රතිසංස්‌කරණය කර අනාගත පරම්පරාවට දැක බලාගැනීමට ඉඩ සැලසිය යුතුය.

තවද එතුමියගේ ලිපියෙන් කැප්පෙටිපොළ අදිකාරම්තුමා විසින් පරිහරණය කළ භාණ්‌ඩ පිළිබඳව දොaෂ සහිත විස්‌තර කර ඇතැයි මාහට චෝදනා කර ඇත. එසේ චෝදනා කරමින් සම්පූර්ණ ඇඳුම් කට්‌ටලය ඉදිරිපත් කළ යුතුව තිබියදී භාණ්‌ඩ කීපයක්‌ පමණක්‌ ඉදිරිපත් කර ඇත.

එහෙයින් 1954 නොවැම්බර් 17 වන දින කැප්පෙටිපොළ දිසාව පරිහරණය කළ භාණ්‌ඩ අටක්‌ එතුමියගේ සීයාවන එඩ්මන්ඩ් මොනරවිල කැප්පෙටිපොළ නිලමේ විසින් එවකට මධ්‍යම පළාතේ දිසාපතිව සිටි ඩබ්ලිව්. ඡේ. ඒ. වෑන්ලැන්ගන් බර්ග් මහතා වෙත භාර දෙන ලදී.

1. රත්රන් මිශ්‍රව මල්ගහ මෝස්‌තරයට සකසා ඇති හිස්‌ වැසුම (තොප්පිය)

2. රත්රන් මිශ්‍රව හැඩ වැඩ දමා සකසා ඇති බොත්තම් 26 ක්‌.

3. රත්රන් මිශ්‍රව සකසා ඇති නළල් පටිය

4. රත්රන් ආලේපකර සාදන ලද ඉණ වටා බඳින පටිය

5. රිදියෙන් සකසන ලද කඩුව හා ආවරණ කොපුව

6. තුප්පොට්‌ටිය

7. රතු මිශ්‍ර සෝවන රෙද්දක්‌

8. තුප්පොට්‌ටිය, සෝමන, ආභරණ තැන්පත් කරන පෙට්‌ටිය වේ

කැප්පෙටිපොළ රණවිරුවාගේ හිස්‌ කබල මහනුවර ස්‌මාරකයෙන් ඉවතට ගෙන කොළඹ කෞතුකාගාරය මගින් නැවත සංරක්‍ෂණය කර නිදහස්‌ අනුස්‌මරණ මන්දිරයේ බිම්මහළයේ පිහිටුවා ඇති නිදහස්‌ අනුස්‌මරණ කෞතුකාගාරයේ තැන්පත් කර ප්‍රදර්ශනය කරනු විනා කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කර ප්‍රදර්ශනය කිරීමට මා කිසි විටෙක පවසා නැත. එය වඩාත් සුදුසු බව මා නැවත නැවතත් කියා සිටින්නේ නිදහස ලබාගැනීම සඳහා දිවි හිමියෙන් කැපවූ වීර වරයන්ගේ ජීවමාන ස්‌වරූපයෙන් නිමවූ හිස්‌ කොටස්‌ හා පරිහරණය කළ බොහෝ දැ එහි ප්‍රදර්ශනය වන හෙයිනි. එපමණක්‌ නොව ඉකුත් 2016 දෙසැම්බර් 08 වන දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අත්සනින් කැප්පෙටිපොළ ප්‍රධාන රණවිරුවන් දේශප්‍රේමීන් බවට පත්කළ නිවේදනය ඇතුළත් සමරු ඵලකයද එහි ප්‍රදර්ශනයට තබා ඇත.

වත්මන් රාජ්‍ය පාලනය රණවිරු චරිත අනුස්‌මරණය කෙරෙන නෂ්ඨාවශේෂයන් සංරක්‍ෂණය කිරීම කෙරෙහිද සමාජ කතිකාවක්‌ නිර්මාණය වෙමින් පවතී.

හුදෙක්‌ මගේ ව්‍යායාමය හා අපේක්‍ෂාව වූයේ මවිසින් ගවේෂණය කරනු ලැබ සාක්‌ෂාත් කරගන්නට යෙදුණු ලේඛනගත සාධක ඉදිරිපත් කරමින් කැප්පෙටිපොළ කුල පරම්පරාවේ අඛණ්‌ඩ විකාශනය හා ව්‍යාප්තිය පැහැදිලි කිරීම පමණක්‌ නොව එබදු වීරෝදාර ඓතිහාසික රණවිරුවකුගේ භෞතික ශේංෂිකය වූ සැබෑ හිස්‌ කබල රහස්‍ය වස්‌තුවක්‌ ලෙස දුරස්‌ථ ස්‌ථානයක සඟවා නොතබා බහුතර ජනතාවගේ දෛනික සම්මානයට හා ප්‍රසාදයට පාත්‍රවන ස්‌ථානයක ප්‍රදර්ශනය සඳහා සුරක්‍ෂිත ලෙස තැන්පත් කර තැබීමේ ජාතික වැදගත්කම සනාථ කිරීමය.

එදා ඉංග්‍රීසීන් විසින් දේශෙද්‍රdaහීන් ලෙස හංවඩු ගසා ජාතියේ වංශ කථාව තුළට රිංගවනු ලැබ තිබූ දේශප්‍රේමී රණවිරු නාමාවලිය මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති තුමාගේ උත්කෘෂ්ඨ සංකල්පය මත අති විශේෂ ගැසට්‌ නිවේදනයක්‌ මගින් "දේශෙද්‍රdaහී" යන ගර්භිත පදය බැහැර කොට "දේශප්‍රේමී" යන ගෞරවාන්විත විශේෂණ පදයෙන් ප්‍රණාමයට පාත්‍ර වූ වීරෝධාර ජාතික වීරයන් පිළිබඳ මූර්ති ශිල්පීන් විසින් උපකල්පනය කෙරුන පරිදි නිර්මිතවූ කෘත්‍රීම ශීර්ෂයන් අතර කැප්පෙටිපොළ විරුවාගේ සැබෑ හිස්‌ කබල ජාතියට නිරන්තරයෙන් දැක බලාගන්නට ලැබෙන අයුරින් නිදහස්‌ අනුස්‌මරණ කෞතුකාගාරයේ තැන්පත් කර තැබීම ඉතිහාසගත යුතු ඉටුකිරීම බව මම නැවත නැවතත් ප්‍රකාශ කරමි.

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »