අනුරාධපුර යුගයේ පැරණි කලා ශිල්ප හා ගොඩනැඟිලි

2017-08-25 10:55:00       517
feature-top
අනුරාධපුර රාජධානි සමයේ දී ඉදි කළ දාගැබ් රැසකි. ථූපාරාම දාගැබට පසුව අනුරාධපුරයේ මහා දාගැබ් ඉදි කිරීම දක්නට ලැබෙන්නේ දුටුගැමුණු රජතුමාගේ රාජ්‍ය සමයේදීය. විදේශීය දමිළ බලයට යටත් වී තිබුණු අනුරාධපුරය නැවතත් සිංහල රාජ්‍ය බලය පිහිටුවා ගත්තේ දුටුගැමුණු රජතුමා විසිනි. ඒ ජයග‍්‍රහණයෙන් පසුව දුටුගැමුණු රජතුමා තිසාවැව අසල සිය රාජාභරණ හා කුන්තායුධය තබා ජල කී‍්‍රඩා කිරීමට රජ පිරිවර සමඟ ගියේය. ජල කී‍්‍රඩාව අවසානයේ දී ජය කුන්තය තිබූ තැනින් ඉවත් කිරීමට නොහැකි වූ නිසා එම ස්ථානයෙහි මිරිසවැටි දාගැබ සෑදවීමට දුටුගැමුණු රජතුමා තීරණය කළේය. ඒ අනුව දුටුගැමුණු රජතුමා විසින් පළමුවෙන්ම ඉදි කළ දාගැබ මිරිසවැටි දාගැබය. අද ඇති මිරිසවැටිය දාගැබ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් 1993 දී සංරක්ෂණය කරන ලද්දකි.ඉන් පසුව රුවන්වැලි සෑය සෑදවීමේ කටයුතු දුටුගැමුණු රජතුමා විසින් ආරම්භ කරන ලදී. ඒ දාගැබ සෑදීම පිළිබඳ ඉතා දීර්ඝ විස්තරයක් මහාවංසයේ සඳහන් වී තිබේ.රුවන්වැලිසෑයේ වැඩ අවසන්වීමට මත්තෙන් දුටුගැමුණු රජතුමා රෝගාතුර වූයේය. මේ කාලයේ දී දුටුගැමුණු රජතුමාගේ සොහොයුරා වූ තිස්ස කුමාරයා විසින් රුවන්වැලිසෑයේ වැඩ කටයුතු කරගෙන යෑමට නායකත්වය දුන්නේය. මේ අතරතුරේ දී දුටුගැමුණු රජතුමා හදිසියේ ම මරණාසන්න වූයේය. එනම් අභාවයට පත්වීමට ළං වූයේය.

 ඒ අවස්ථාවේ දී තිස්ස කුමාරයා (දුටුගැමුණු රජතුමාට පසුව රජවූයේ සද්ධාතිස්ස යන නාමයෙනි. ඔහු විසින් රුවන්වැලි මහා සෑයේ වැඩ නිමකර ඇති අන්දමට සුදු රෙදි වලින් සකස්කර දුටුගැමුණු රජතුමාට දකින්නට සැලැස්වූ බැව් මහාවංසයේ සඳහන් වේ. රුවන්වැලි සෑයේ වැඩ නිමවා තිබෙන ලෙසින් සකස්කර තිබූ ඒ රුවන්වැලි සෑය දෙස බලා සිටියදීම දුටුගැමුණු රජතුමා අභාවප‍්‍රාප්ත වූයේය. ඉන් පසුව එම දාගැබ සද්ධාතිස්ස රජතුමාගේ අනුග‍්‍රහයෙන් සම්පූර්ණයෙන් ම ගොඩනැංවූයේය. ඒ කාලයේ දී අනුරාධපුරයේ තිබුණු විශාලතම දාගැබ වූයේ රුවන්වැලි සෑයයි. ඒ නිසා ඒ ථූපයට (දාගැබ) මහා ථූප යන නාමය ව්‍යවහාර වූයේය. (මෙහි දී ස්තූපය යන වචනය නිවැරදිව ලිවීමට ද ඔබ ඉගෙන ගත යුතුය. ථූපය යනුවෙන් ලියන විට”ථූ” යන්න ලිවීම නිවැරදිය. එහෙත් ස්තූපය යන වචනය ලිවීමේ දී ස්ථූපය යනුවෙන් ලිවීම වැරදිය. එය නිවැරදිව ලිවීමට මතක තබා ගන්න. ඒ අනුව නිවැරදි අකුරු සහිත වචනය ස්තූපය යන්නය.)රුවන්වැලි සෑයට මහා ථූපය යන නාමය මහාවංසය ඇතුළු පැරණි ග‍්‍රන්ථවල සඳහන්වී තිබේ. මෙම දාගැබ ද රජවරු කලින් කලට සංරක්ෂණය කළහ. මේ දාගැබෙහි බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා ද්‍රෝණයක් පමණ නිදන් කර සාදා තිබේ. සද්ධාතිස්ස රජතුමා විසින් මේ දාගැබ අඩි 120 උසට සාදවන ලදී. ලංජතිස්ස, ඛල්ලාටනාග, භාතිකාභය, මහා දාඨික මහා නාග, අමණ්ඩගාමිණී අභය යන රජවරු මෙම දාගැබ සංරක්ෂණය කිරීමේ කටයුතුවලට දායක වූහ. පළමුවෙන් ගජබා රජුගේ ශිලා ලිපියක මෙම දාගැබ සහ ආරාමය ‘රත්න අරබ’ යන නාමයෙන් හඳුන්වා තිබේ. දැනට දක්නට ලැබෙන රුවන්වැලිසෑය දහනව වන සියවසේ මුල් කාලයේ දී ප‍්‍රතිසංස්කරණය කරන ලද්දකි.

ලෝවාමහාපාය -දෙවන පෑතිස්ස රජතුමා විසින් මිහිඳු මහ රහතන් වහන්සේගේ උපදෙස් අනුව ‘මහමුචල’ නම් මාලකයෙහි භික්ෂූන් වහන්සේලාගේ පොහොය ගෙය ප‍්‍රථම වරට සාදන ලද්දේ දැන් ලෝවාමහාපාය ඇති ස්ථානයෙහිය. පසුව දුටුගැමුණු රජතුමා විසින් අලංකාර ලෙසින් නව මහල් ලෝවාමහාපාය සාදවන ලදී. එසේ වුවද දුටුගැමුණු රජතුමාට පසුව රජවූ සද්ධාතිස්ස රජතුමාගේ කාලයේ දී ලෝවාමහාපාය ගින්නකින් දැවී ගියේය. (මෑත කාලයේ දී මෙහි කරන ලද පුරාවිද්‍යා කැණීමක දී අඟුරු ද හමු වී තිබේ.) ගින්නෙන් දැවුණු ලෝවාමහාපාය සද්ධාතිස්ස රජතුමා විසින් යළි ගොඩනැංවීම කළේය. සත්මහල් ප‍්‍රාසාදයක් ලෙසින් ඒ රජතුමාගේ අනුග‍්‍රහයෙන් එකල සිටි අප රටේ වාස්තු විද්‍යාඥයින් හා ශිල්පීන් විසින් ඒ මහා ප‍්‍රාසාදය නිමවන ලදී. ලෝහ උළු වලින් සාදන ලද නිසා ලේවාමහාප‍්‍රාසාද යන නම භාවිතා විය. ඉන්පසුව රජ පැමිණි භාතිකාභය, අමණ්ඩ ගාමිණී, දෙවන සිරිනාග, ගෝඨාභය, පළමුවන ජෙට්ඨතිස්ස, ධාතුසේන, පළමුවන අග්ගබෝධි හා මානවම්ම ආදී රජවරු ද ලෝවාමහාපාය ප‍්‍රතිසංස්කරණය කළහ.

කි‍්‍රස්තු වර්ෂ දහවැනි සියවසේ දී ලංකාවට එල්ල වූ චොල ආක‍්‍රමණයේ දී මෙම අනුරාධපුරයේ තිබූ බොහෝ ආගමික සිද්ධස්ථාන පමණක් නොව වැව් ආදිය ද විනාශ වූයේය. චෝලයින් විසින් ලෝවාමහාපාය ද විනාශ කරන ලදී. ඉන් පසුව පොළොන්නරුවේ රජ වූ මහා පරාක‍්‍රමබාහු රජතුමාගේ කාලයේ දී ප‍්‍රතිසංස්කරණය කරන ලද ලෝවාමහාපාය ඔබට අද අනුරාධපුරයේ දක්නට ලැබේ. මෙහි එක පෙළකට ගල් කණු හතළිහ (40) බැගින් ගල් කණු පේළි හතළිහක් (40) දක්නට ලැබේ. ඒ අනුව මේ ගොඩනැගිල්ලේ ගල් කණු 1400 කි. මහා පරාක‍්‍රමබාහු රජතුමාගේ කාලයේ දී මෙම ලෝවාමහාපාය ප‍්‍රතිසංස්කරණය කිරීමේ දී අනුරාධපුරයේ පැරණි තැන්වල ඇති ගල් කණු ද උපයෝගී කර ගත් බැව් දක්නට ලැබේ. අභයගිරියට අයත් රත්නප‍්‍රාසාද ගොඩනැගිල්ලේ ගල් කණු ද මේ සඳහා යොදා ගෙන තිබේ. මහා විහාර ප‍්‍රදේශයට අයත් වන තවත් ගොඩනැගිලි රැසක්ම අනුරාධපුරයේ දක්නට ලැබේ. පෑනඹමළුව, චතුස්සාලාව, ජන්ථාඝරය, කුජ්ජතිස්ස ස්තූපය, පැරණි රෝහල, අභය වැව (බසවක්කුලම) මාපා මාළිගය ආදී ගොඩනැගිලි මෙම ප‍්‍රදේශයෙ පිහිටියේය.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »