කඳ­කු­ම­රුන් එදා ගිය මඟ ඔස්සේ අදත්

2017-07-24 10:26:00       517
feature-top
එදා කඳ කුමරුන් පැමිණි මාර්ගය ඔස්සේ අදත් පාද යාත්‍රාවේ යන බැතිමතුන් සිටියත් අතරමඟ දී මේ ගමනට එක්වන ඇතැම් දෙනා එහි බැතිබර බව කෙලෙසීම කනගාටුවට කරුණකි.

ගිනියම් වැලි තලාවේ දිගු දුරක් පා නැ‍ඟීමෙන් ඔවුන්ගේ දෙපා පුපුරු ගසයි. වලාකුළක් පෙනෙන්නටවත් නොමැති අහසේ රක්ත වර්ණයෙන් බබළන හිරු කිසිම අනුකම්පාවක් නොමැතිව සියල්ල දවාලයි. එහෙත් ඒ දාහය ඔවුනට වගේ වගක් නැත. කාෂ්ඨක අව්වේ ඔවුන් මේ සා දුර ගෙවා ලන්නේ හිතේ ඇති භක්තිය නිසාය. මඟ දිගට හමුවන අලි කොටි වග වලසුන් වෙතින් එන තර්ජන ගර්ජන කඳ සුරිඳුන් වෙත ඇති භක්තිය නිසාම ඔවුහූ නොතකා හරිති. සමූහයක් ලෙසින් ඔවුන්ගේ මුවින් ගිලිහෙන හරෝ හරා හඬින් කටුක වනාන්තරය නින්නාද දෙද්දී ගමනේ වෙහෙසද නිවාලයි. අනේක දුක් කරදර විඳිමින් මහා වන මැදින් උතුම් කතරගම කඳ සුරිඳුන් පිදීම සඳහා පැවැත්වෙන ඇසළ මංගල්‍යයට සහභාගි වීමට පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමත්තු සෑම වසරකදීම මේ අයුරින් ඇසළ මාසයේ දී කතරගමට පැමිණෙති. උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිට පැමිණෙන මේ බැතිමතුනට කුමණ ජාතික වනෝද්‍යානයට පැමිණීම සඳහා වනජීවී නිලධාරීන් වෙතින් අවසරය ලැබුණේ පසුගිය පහළොස්වැනිදාය. එම අවසරයත් සමඟින් මේ වනවිට පාද යාත්‍රා බැතිමත්හු 1700කට අධික සංඛාවක් උතුම් වූ කඳ දෙව් අඩවියට පැමිණෙමින් සිටිති.

කතරගම පැවැත්වෙන ඇසළ මංගල්‍යය සඳහා උතුරු නැගෙනහිර සිට පාද යාත්‍රාව මගින් වසරකට 35000 ක් පමණ බැතිමතුන් කතරගම පුරවරයට පැමිණීම සිදුවේ. කණ්ඩායම් වශයෙන් සෑදි පේවී පැමිණෙන මෙම බැතිමත්හු දින 20 -25ක් වැනි කාලයක් ගත කරමින් මහා වන මැදින් ඓතිහාසික ඔකඳ දේවාලය අසලින් කුමණ ජාතික වන උද්‍යානයට පිවිස සිය ගමන් අරම්භ කරති.

අද සෑම දෙයක්ම වෙනස් වී දියුණු මං මාවත් දියුණු ප්‍රවාහන හා ගමනා ගමන පහසුකම් තිබියදීත් එම පහසුකම් නොලබමින් අතීතයේ මෙන් අදත් පා ගමනින් කතරගමට සෑම වසරකදීම මෙලෙසින් පැමිණීම භක්තිය නිසාම සිදුවන්නකි. කතරගම ඇසළ වන්දනා සමය ළංවද්දී පාද වන්දනාවේ පැමිණෙන බැතිමත්හූ මාස තුනකට පෙර සිට ඒ සඳහා පැහැදී පේවීම සිදු කරති.

මස් මාංශයෙන් තොරව කිලිවලට හසුනොවී අනුන් අඳින ඇඳුම් නොඇඳ සිත කය වචනයෙන්ද මේ පේවීම සිදු කරති. පිරිමි මෙන්ම ගැහැනුද පිරිසුදුව පේවීම මෙහි මූලික කටයුත්තයි.

පාද වන්දනාවට සහභාගී වීමට පෙර බැතිමත්හු බත් වියළා හබල පෙති සාදවා ගන්නා අතර කිතුල් හකුරු මිශ්‍ර කර රසවත් කෑම පිළියෙල කර ගැනීම පුරුද්දක් ලෙස සිදු කරති. මඟ දිගට සිරුරේ ශක්තිය රැක ගනිමින් සරල ආහාරයකින් යැපීම මෙහි ප්‍රධාන අරමුණ වේ.

ඇසළ පෙරහර ළංවීමට මාසයකට පෙර පිරිසක් ත්‍රිකුණාමලය, යාපනය, කිලිනොච්වීය, සහ මඩකලපුව වැනි ප්‍රදේශවලින් සිය ගමන් අරම්භ කරන අතර තවත් පිරිස් කණ්ඩායම් වශයෙන් එක් වී මෙම පාද වන්දනාව සඳහා විවිධ ප්‍රදේශ ඔස්සේ පැමිණෙති.

තවත් පිරිසක් පානම හා කුමණට රථවාහනවලින් පැමිණ මහා වනාන්තරය මැදින් දින 10ක පමණ කාලයක් දුරු කතර ගෙවා කතරගමට පැමිණ වන්දනා ගමනට එක් වෙති. කතරගම පෙරහර මංගල්‍යය පැවැත්වෙන පුරා දින 15 පුරාම මෙලෙස වරින් වර බැතිමතුන් පාද යාත්‍රාවෙන් පැමිණෙති.

හාරෝ හරා කියමින් කුමණ ජාතික වන උද්‍යානයට ඇතුළුවී කුඹුක්කන් ඔය පොත්තන යාල අංක 02 මැණික් ගඟ ඔස්සේ යාල අංක 01 කලාපයට පැමිණ කටගමුව ඔස්සේ කතරගම පුරවරයට ළඟාවෙති.

මෙම මාර්ගය මහා වන මැදින් වැටී ඇති අතර ග්‍රාමීය මාවත් රැසක් හා නගර පසු කරයි. තවත් පිරිසක් මඩකලපුව, තොරමාරි, අම්පාර, පොතුවිල් සහ අරුගම්බේ යන මාර්ග ඔස්සේද පැමිණෙති.

අතීතයේ සිට මේ පාද යාත්‍රාව හා බැඳුණු රසවත් කතා බොහොමයකි. වල්ලි දෙවඟන සරණ පාවා ගැනීමට පැමිණි කඳ කුමරුන් ඔකඳ මුහුදු වෙරළට රන් ඔරුවකින් පැමිණ එ තැන් සිට පා ගමනින් මහා වන මැදින් පැමිණෙන විට කඳ කුමරුන් පැමිණි රන් ඔරුව දැක මිනිසුන් පිරිසක් එය බෙදා ගැනීමට ගහ මරා ගැනීමට යන බව කඳ කුමරුන්ට දැනී ඇත්තේය. එනිසා ආපසු පැමිණ රන් ඔරුව ගල් කර ඔරුව අනිත් පැත්ත පෙරළා කඳ කුමරුන් නැවතත් කතරගම් පුරයට පැමිණි බව ඉන් එක් කතාවකි. එදා කඳ කුමරුන් පැමිණි මාර්ගය අද බැතිමතුන් පාද යාත්‍රාව මගින් පැමිණෙන මාර්ගය බව ජනප්‍රවාදයේ කියැවේ.

මෙලෙස පා ගමනින් එන බැතිමත්හු රාත්‍රී ගත කිරීමට ගසක් යට හෝ උස් ගලක් තෝරා ගනිති. රාත්‍රියේ දී ගල උඩ ගිනි මැලයක් ගසා රත් වූ ගල උඩ රොටියක් පුලුස්සාගෙන කෑම බොහෝ බැතිමත්හූ තවමත් පුරුද්දක් ලෙස කරති. උදෑසන වේල සඳහා හබල පෙති වතුරින් පොඟවා එයට හකුරු එකතු කර සැහැල්ලූ ආහාරයක් ගෙන හිරු නැඟීමට පෙර සිය ගමන් ආරම්භ කරති.

වනාන්තරයේ දිවුල්, හිඹුටු හා වීර ගස් මේ කාලයේ දී හොඳින් ඵල බරව ඉ දී බිමට වැටෙන කාලයයි. මේ වන්දනාකරුවන් යන අතරමඟ දී එම දිවුල් අහුලා බිඳ ජලය මුසු කර සීනි දමා පානය කරනුයේ සිය දාහය නිවා ගැනීමටය. මෙලෙස දිනකට කිලෝ මීටර් 10ක් පමණ පා ගමනින් ගෙවාලන බැතිමත්හූ මීළඟට සැරසෙන්නේ දිවා ආහාරය පිළියෙල කර ගැනීමටය. ගත දවාලන හිරුට මුවා වීමට සෙවණ ඇති ගසක් තෝරා ගන්නා ඔවුහූ සරලව සිය දිවා ආහාරය ලක ලැහැස්ති කර ගනිති. බොහෝ පිරිසක් වැව් කණ්ඩි අයිනේ වැවී ඇති පළා වර්ග හා කර කොළ එක් කර සිය බත් වේල සකස් කර ගැනීම පුරුද්දක් ලෙස කරති.

පාද යාත්‍රාවේ පැමිණෙන බැතිමතුන් දැනුදු ගමන අතරමඟ රාත්‍රී ගෙවීමට තෝරා ගනුයේ එදා අතීතයේ දී පාද යාත්‍රාවේ පැමිණි බැතිමතුන් නතර වීමට තෝරා ගත් ස්ථානවීම ද විශේෂයකි. ඔවුහූ කිසිවිටෙකත් එම ස්ථානවලින් පරිබාහිර ස්ථානවල නතර නොවෙති. කුඹුක්කන් ඔය, යාල අංක දෙක කලාපය, කටුපිලාර, පොත්වල, උඩපොත්වල, කතරගම මැණික් ගඟ, යාල අංක 3 කලාපය, කටගමුව සහ කොච්චිපතාන එම ස්ථාන අතර වෙයි.

ගමනේ දී වැඩි බරක් කරේ නොගෙන අතීතයේ දී මෙන් පරිසරය හා බැඳී දේව බැතියෙන් යුතුව පාද යාත්‍රාවේ යෙදීමට මේ බැතිමත්හූ වගබලා ගනිති. ඔවුනට මහ වනයේ දී වන සතුන්ගෙන් පීඩාවක් නොවන අතර වන සත්තුද මේ පාද වන්දනා සමයේ දී මිනිසුන් මඟ හැර යති. කෙසේවුවද පාද වන්දනාවේ පැමිණෙන බැතිමත්හූ නිතරම කණ්ඩායම් වශයෙන් කල් ගත කරති. දියට ගියද දොට්ට පිලට ගියද තනිව නොයෑමට වගබලා ගනිති. පසුගිය සමයේ දී පාද වන්දනාවේ යෙදුණු කාන්තාවක කොටි ප්‍රහාරයකට ලක්වූයේ මේ පිළිවෙත බිඳී මොහොතකට තනිවූ අවස්ථාවකය.

ආර්. යෝගේශ්වරන් මෙවර පාද යාත්‍රාවේ පැමිණෙන්නේ විසි අටවැනි වතාවටය. “දවල් කාලයේ එනකොට ඉර මුදුන් වෙද් දී පොළොව රත් වෙනවා. එතකොට ගංගා, ඇළ දොළ දිය පාරවල් තියෙන තැන්වල නතරවෙනවා. අපි වතුර ගන්නේ ඒවායින්. ඒ කාලේ කැලේ දී ලෙඩක් දුකක් හැදුණාම කැලෙන් ඉරමුසු, නීරමුල්ලිය, පොල්පලා වැනි බේත් පැළයක් කොළයක් තම්බා බොනවා. හැමෝම ගිනි මැළ ගහගෙන එක තැනකට එකතු වෙලයි ඉන්නේ. ඒත් එදාට වඩා අද වෙනස්. අද පාද යාත්‍රාවේ එන අයට තැනින් තැන ප්ලාස්ටික් වතුර බෝතල් බෙදනවා. දන්සල් දෙනවා. එහෙම දෙනකොට අපට නොගෙන ඉන්නත් බෑ. සමහර උදවිය කැලේට ඇවිත් පාද යාත්‍රාවේ එන අයට බත් මුල් බෙදනවා. ඒ බත්මුල් නොගෙන ඉන්නත් බෑ. අපි මේ ගමනට මාස ගණනක ඉඳන් පේවෙලයි එන්නේ. මේ සමහර බත්මුල්වල උම්බලකඩ හාල්මැස්සො තියෙනවා. එතකොට අපි මාස ගණනක් තිස්සේ පේවිච්ච එකෙන් වැඩක් නෑ”

දින සති මාස ගෙවා එන වන්දනාකරුවන් අතරින් පිරිසක් කරත්තවලින්ද පැමි‍ණෙති. මෙසේ පැමිණි බැතිමතුන් වනයේ අලි ඇතුන්ට හා දිවියන් වලසුන් වැනි වනසතුන්ගේ ප්‍රහාරයන්ට ලක් වූ අවස්ථා රැසක්ද වූ බව කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී. රත්නායක මහතා පවසයි. 1949 වැනි වකවානුවල සිට පෙරහර අවසන් වී නැවත පා ගමනින් යන බැතිමතුන් ගැන සොයා බැලීම එවකට සිටි කපු මහතුන්ගේ සිරිතක් වූයේය. එවැනි අවස්ථාවක දී වූ සිද්ධියක් ගැන රත්නායක කපු මහතා සඳහන් කළේය.

“මං එක පෙරහර කාලයක දී පිරිසක් එකතු කරගෙන වතුරත් අරන් දේවාලය අවට විපරම් කළා. දේවාලයට සැතපුම් 10 ක් පමණ දුරක ලඳු කැලෑවක වයස අවුරුදු 50 ක් තරමේ කෙනෙක් වැටිලා ඉන්නවා මං දැක්කා. ඒ කෙනාට වතුර පොවා ආහාර ලබා දෙනකොට ඔහු දෙමළ බසින් මට හොඳයි. අර ඈත මගේ ගෑනි ගියා. එයා බලා ගන්න කියා කිව්වා. පසුව අපි කරත්තයේ නැගලා හොයාගෙන යද්දී අතරමඟ මහලු කාන්තාවක් බිම වැටිලා ඉන්නවා දැක්කා. ඒ කෙනාටත් කන්න බොන්න දීලා කරත්තයට දමා ගෙන නැවත ආපු පාරෙම අර කලින් මනුස්සයා වැටී සිටි තැනට ආවා. ඒ එනකොට අර මනුස්සයාගේ හිස කඳින් වෙන්වෙලා වැටිලා හිටියා. බලද්දී ඒ මනුස්සයා දිවියෙකුට අහුවෙලා.”

ඇමෙරිකාවේ හවායි සිට පැමිණි වෛද්‍ය විශේෂඥයකු වන ඩැනියල් මහතා “ලංකාවේ ජනයා හරිම සුහදශීලියි. එකම දෙවියකු ජාතීන් කීපදෙනකු එක්ව අදහන එකම රට ලංකාව පමණයි. මේ රටේ ජාතීන් අතර හොඳ සමගියක් ඇති බව පේනවා. ඇමෙරිකාවේ සිට ලංකාවට පැමිණි විද්‍යාඥ අතර් සී ක්ලාක් මහතා මගේ හොඳම මිතුරෙක්. මම 1985 දී ඔහු හමුවීමට ලංකාවට ආවා. ඒ දවස්වල ලංකාවේ ජාතීන් අතර යුද ගැටුම් තිබුණා. ඒත් මම ලංකාවට ආවා. ඇවිත් යාල නැරඹුවා. අනුරාධපුර ශ්‍රී මහා බෝධිය වඳින්න අතර් සී. ක්ලාක් මා එක්ක ගෙන ගියා. එදාට වැඩිය දැන් ලංකාව ගොඩක් දියණු වෙලා. මට හරිම සතුටුයි. අපි කෙටි කාලයකින් ඔකඳට ආවා. පාද යාත්‍රාව මට අලූත් අත්දැකීමක් වෙයි. මගේ මිතුරෙකු වන සුරියකුමාරත් මේ පාද යාත්‍රා වන්දනාවට එක්කර ගත්තා. මේ රටේ ජනයා අපි විදේශිකයන් කියලා වෙන් කරන්නේ නැහැ. රස කැවිලි දෙනවා. විවිධ ආහාර දෙනවා. මම මේ ගමනේ දී විවිධ භාෂා කතා කරන අය දැක්කා. කතරගම මුරුගන් දෙවියෝ අදහන අය ගොඩක් මම දැකලා තියෙනවා. මම රටවල් ගණනාවක සංචාරය කරලා තියෙනවා. ලංකාවේ වගේ මිනිසුන් අතර සුහදශීලිබව වෙනත් රටවලදි දැකලා නැහැ. මේ පාද වන්දනාව මගේ ජිවිතේ අධ්‍යාත්මික සංවර්ධනයට රුකුළක් වෙයි කියලා හිතෙනවා”

මෙම පාද වන්දනාව සඳහා එක්ව සිටින පෝලන්ත ජාතික පිෂ්මින් යෞවනයෙකි. ඔහු ලංකාවට පැමිණියේ අාධ්‍යාත්මික සුවයක් පතා බව පවසයි.

“ලෝකයේ දියුණුවත් සමඟ මිනිසුන් පීඩාවට පත්වෙලා. බාහිර ලෝකයෙන් මිදිලා සිත දියුණු කරගන්න මානසික සුවය ලබන්න කවුරුත් පෙලඹෙන්නේ නැහැ. මම ජිවිතයට අලූත් දෙයක් එක්කර ගන්නා අයෙක්. මට මේ පාද වන්දනාවෙන් අලූත් අත් දැකිම් සමුහයක් ලබා ගන්න පුළුවන් වෙයි.”

ඕස්ට්‍රේලියානු ජාතික බින් විල්හිටි පාද යාත්‍රාවෙන් කුමණට පැමිණියේ යාපනයේ සිට දින 40 ක කාලයක් ගෙවාය. ඔහු අධ්‍යාත්මික දේ සම්බන්ධයෙන් පර්යේෂණයක නිරතව සිටින්නෙකි.

“කතරගම දෙවියන් වන්දනා කරමින් යන මේ පාද චාරිකාව මගින් ලෝකයට හොඳ පණිවුඩයක් දෙන්න පුළුවන්. සිංහල දමිළ අය වගේම ලෝකයේ විවිධ රටවල අය මෙම පාද වන්දනාවට එක්ව සිටිනවා. සියලූම දෙනා සමගියෙන් මේ පාද වන්දනාව සිදු කරනවා. ලෝකයේ තිබිය යුතු සාමය මෙයයි.

පොතුවිල් තිරුක්කෝවිල් සිට පාද වන්දනාවට එක්ව සිටින සොලූ මුත්තු සාමි මහතාට කොතරම් දුරක් පා ගමනින් ගියද වෙහෙසක් නොදැනෙන බව පවසයි. ඔහු සලකන්නේ මේ ගමන ඔහු ඇතුළු පවුලේ අයට ආශිර්වාදයක් ගෙන දෙන බවයි.

පාද වන්දනාවට එක්වීමට යාල වන උද්‍යානයෙන් පැමිණි සින්දා තුරේ චාන්ද්‍ර මහත්මිය පැවසුවේ පාද වන්දනාව නිසා ඇගේ ලෙඩ රෝග බොහොමයක් සුව වූ බවයි.

මුත්තූර් සිට පැමිණි සී. කේ. අන්නා මුරුගේසු මහතා වත්මන් පාද යාත්‍රා වන්දනාවට සිදුව ඇති දේ පිළිබඳ අප හා කතා කළේ කනගාටුවෙනි.

“මං පාද යාත්‍රාවේ යන්න අරන් අවුරුදු තිහකටත් වැඩියි. දැන් මේ පාද යාත්‍රාව ඇතැම් අයගේ විනෝද චාරිකාවක්වී තිබීම කනගාටුවක්. ඒ නිසා මේ ගමනේ අතීත සුන්දරත්වය බැතිබරබව අද විනෝදයකට හැරවිලා. බැතිමතුන් ලෙසින් මෙලෙස විනෝදකාමීන් මේ ගමනට එක්වීම නිසා ගංජා හා මත්පැන් පවා මේ ගමනේ යන ඇතැම් අය අද පාවිච්චි කරනවා. ගමනේ පූජනීයත්වය කෙළෙසන අයට දෙවියන් කවදා හෝ දඬුවම් කරයි. ”

දින ගණනාවක් දුර කතරක් ගෙවා කතරගමට පැමිණෙන බැතිමතුන් පූජා භුමියේ ඇති ගස් යට රැඳෙමින් දින 15ක් කඳ සුරිදුන්ට පුද පුජා තබා මැණික් ග‍ෙඟේ දිය කැපීමෙන් පසු සිය ගම් බිම් වෙත දිය කැපු ජලයද රැගෙන යන්නේ ලබන වසරේ දි නැවත පැමිණිමේ අටියනි.



Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »