අනුරාධපුරයෙහි සමාධි බුදුපිළිමය

2017-07-07 10:42:00       517
feature-top
අනුරාධපුරයෙහි අභයගිරි විහාර භූමිභාගයේ වූ කුට්ටම් පොකුණට නුදුරින් පිහිටා ඇති ලෝ ප‍්‍රකට සමාධි බුදුපිළිමය ලොව සමාධි බුදුපිළිම අතර විශිෂ්ඨතම නිර්මාණය වේ. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ආධ්‍යාත්මික පාරිශුද්ධත්වය කළු ගලක නිරූපණය කර තිබීම මෙහි වූ විශේෂ ලක්‍ෂණයයි.

කාල නිර්ණයමෙම සමාධි බුදු පිළිමය දේවානම්පියතිස්ස රජතුමා (කි‍්‍ර. පූ. 247 - 207) විසින් කළ බව ඇතැම් විද්වතුන්ගේ මතයයි. මෙයට සාක්‍ෂි වශයෙන් ඔවුන් ගෙන හැර දක්වනුයේ මහාවංශයෙහි එන අදහසකි. එනම් මහාවංශයෙහි සඳහන් දේවානම්පියතිස්ස රජතුමා විසින් කරවන ලද ‘උරුසිලා පටිමා’ නම් වූ හිඳි පිළිමය බවයි. මහාවංශයට අනුව ජෙට්ඨතිස්ස රජතුමා (කි‍්‍ර. ව. 323 - 333) කළ කී දෑ විස්තර කරන අවස්ථාවේදී දේවානම්පියතිස්ස රජතුමා විසින් ථූපාරාමයෙහි වඩා හිඳුවන ලද මනරම් බුදු පිළිමයක් පිළිබඳව සඳහන් කරයි. එම බුදු පිළිමය උරුසිලා පටිමා නම් වූ හිඳි පිළිමය වූ අතර විශේෂයෙන් පූජ්‍ය වස්තුවක් වූ පිළිමයක් වශයෙන් ඉතා ප‍්‍රකට වූ බව මහාවංශය වැඩි දුරටත් සඳහන් කරයි. පෙට්ඨාතිස්ස රජතුමා එම බුදු පිළිමය ථූපාරාමයෙන් රැගෙන විත් පැදුන්තිස් විහාරය (ප‍්‍රාචීන පබ්බතාරාමය) හි වැඩ හිඳුවා ඇත. මහසෙන් රජතුමා (කි‍්‍ර. ව. 334 - 362) එම බුදු පිළිමය එතැනින් රැගෙන ගොස් අභයගිරි විහාරයෙහි වැඩ හිඳුවා ඇත. 4 වැනි සියවසේ අවසාන භාගයේදී බුද්ධදාස රජතුමා මැණික් වලින් මෙම බුදු පිළිමයෙහි නෙත් පිහිටුවා ඇත. ධාතුසේන රජතුමා (කි‍්‍ර. ව. 460 - 478) මෙම බුදු පිළිමයට පිළිම ගෙයක් නිර්මාණය කොට ඇත. ඒ විතරක් නොව බද්ධදාස රජතුමා ඒ බුදු පිළිමයේ නෙත්වලට ඔබ්බවන ලද මැණික් මේ වන විට නැති වී තිබුණු බැවින් නැවත නෙත් යුගලක් සාදනු වස් මැණික් ගල් පරිත්‍යාග කළේය.රජතුමා බුදු පිළිමයෙහි රැස්වළල්ල හා සිළුමිණ කරවා කෙස් හි නිල්මිණි එබ්බ වූ බව මහාවංශයෙහි සඳහන් ය. සිලා මේඝවර්ණ රජතුමා (කි‍්‍ර. ව. 617 - 626) පුරාණ බුදු පිළිමයෙහි නවකම් කරවා බුදු පිළිමය නානා විදි මැණික් වලින් අලංකාර කරවා ඊට කලාවාපි වුව කලාවැව පුද කළේය. 2 වැනි සේන රජතුමා (කි‍්‍ර. ව. 851 - 885) අබලන් වී තිබූ පිළිමගෙය ප‍්‍රකෘතිමත් කරවූ බවත් එතුමාගේ අග මෙහෙසිය බුදු පිළිමයට නිල් කිරුළක් ද පළඳවා ඇති බවත් මහාවංශය සඳහන් කරයි. මෙම බුදු පිළිමය සඳහා උරුසිලා පටිමා, මසිලා පටිමා, සීලාසත්ථු, සිලා සම්බුද්ධ, සිලාමය බුද්ධ, සිලාමය මුනින්ද, සිලාමය මහේෂි යනාදී නාමයන් ගෙන් මහාවංශය හඳුන්වා දී ඇත.ඉන්දියානු බෞද්ධ ප‍්‍රතිමාවන්හි ලක්‍ෂණ සසඳි බලමින් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ප‍්‍රකාශ කරනුයේ මෙම සමාධි බුදු පිළිමය 4 වැනි සියවසට අයත් බවයි. එනමුත් මෙම සමාධි බුදු පිළිමය ඊටත් වඩා පැරණි අතීතයකට උරුම කියන බව ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතාගේ හා ඩී. ටී. දේවේන්ද්‍ර මහතාගේ අදහසයි.

ප‍්‍රතිමා ලක්‍ෂණමෙය සමාධි මුද්‍රාවෙන් (ධ්‍යාන මුද්‍රාව) යුක්තය. එනම් එය ලක්දිව ඉතාම සුලබව දකින්නට ලැබෙන මුද්‍රාවයි. විරාසන ක‍්‍රමයට එනම්, නැවූ වම් පාදය මත නැවූ දකුණු පාදය රඳවා ගෙන, එසේ නමා ගත් දෙපා මත දකුණත වමත මත අත්ල ඉහළට තබා ගෙන සිටින ආකාරය දැක්වෙන මුද්‍රාවයි. මෙය බුදුරජාණන් වහන්සේ භාවනායෝගීව සිටින ආකාරය නිරූපණය කිරීමකි. අනුරාධපුර පොළොන්නරු යුගවලට අයත් වූ විවිධ ආරාම හා විවිධ ස්ථානයන්හි දකින්නට ලැබෙන හිඳි බුදු පිළිම වැඩි ප‍්‍රමාණයක් මෙසේ නිමවන ලද ඒවාය.ඒ අනුව බලන කල ලක්දිව බොහෝ බුදු පිළිමයන්හි විරාසන ක‍්‍රමය ද අනිවාර්ය අංගයක් විය. ඇත්තේ පළල් නළල් තලයකි. චීවරය ඉතා සිවුම්ය. එය ඇඟටම ඇලී ඇත. එහි කිසිදු රැල්ලක් නොමැත.අඩවන් වූ දෙනෙත් පොළොව මතට යොමු වී ඇත. මුහුණ ඍජු කොට තබා ගන්නා ලද උඩුකය, එකමත එක තබා ගෙන දෙඅත්ල හා උඩට නැමී ගිය ඇඟිලි මෙම බුදු පිළිමයේ කලා කෞශල්‍යය ප‍්‍රකට කරන ලක්‍ෂණය වේ. එය අනුරාධපුර - පොළොන්නරු යුගවලට අයත් වූ වෙනත් හිඳි බුදු පිළිම හා සසඳන කල්හි මැනවින් පෙනී යයි.මෙම සමාධි බුදු පිළිමයෙන් ගුප්ත ආභාෂය පිළිබිඹු වන බව කලා විචාරකයන්ගේ මතයයි. එය සනාථ කරනු වස් ඔවුන්් පෙන්වා දෙනුයේ ලම්බකර්ණ (එල්ලෙන දෙකන්) චීවරය පෙරවීම (ඒකාංශ චීවරය), තාරුණ්‍යය, හිසකෙස් රැලි බව යනාදී ලක්‍ෂණයි.

ප‍්‍රතිමා ප‍්‍රමාණමෙම සමාධි බුදු පිළිමය උසින් අඩි 7 කුත් අඟල් 6 ක් පමණ වේ. දෙදණ අතර පළල ද අඩි 7 කි.මෙම සමාධි බුදු පිළිමයට පිටුපසින් හතරැස් ගඩොල් බැම්මකින් වට කරන ලද කොටුවක් වර්තමානයේ දැක ගත හැකිය. මෙමගින්් ගම්‍ය වනුයේ එකල බෝධි වෘක්‍ෂයක් ඉදිරිපිට මෙම බුදු පිළිමය හිඳුවා තිබූ බවයි. එනමුත් බෝධි වෘක්‍ෂය වර්තමානයේ දකින්නට නොමැත. ඇත්තේ බෝධි කොටුවේ නටබුන් පමණි. මෙම ස්ථානයේ එකල අභයගිරි විහාරයට අයත් වූ බෝධි ඝරයක් තිබූ බව විශ්වාස කළ හැකිය. සමහර විද්වතුන්ගේ මතයට අනුව බෝධි වෘක්‍ෂය මැදි කොට ඉදිකරන ලද බෝධිඝරය බෝධි වෘක්‍ෂය හතර පැත්තෙහි තිබූ බුදු පිළිමයකි.  මෙය මෙසේ ප‍්‍රකාශ කිරීමට ඔවුන් උපයෝගී කර ගන්නා සාධකය නම් සමාධි බුදු පිළිමය විරුද්ධ පැත්තෙහි තැම්පත් කර තිබූ බුදු පිළිමයක කොටසක් හමුවීමයි.ඒ කෙසේ නමුදු මෙම බුදු පිළිමයට මණ්ඩපයක් සහිත පිළිම ගෙයක් එකල තිබූ බවට සාධක ඇත. එකී සාධකය නම් බුදු පිළිමය ආවරණය කොට තිබූ සෙල්මුවා ඡත‍්‍රයක කොටසක් අසල තිබී පුරාවිද්‍යාත්මක කැණීම් වලදී සොයා ගැනීමයි. එසේම මෙයට සාහිත්‍යමය සාධකය නම් ධාතුසේන රජතුමා විසින් සමාධි බුදු පිළිමයට මණ්ඩපයක් සහිත පිළිම ගෙයක් ඉදි කරවූ බව මහාවංශයෙහි සඳහන් වීමයි.

danuma.lk


More News »