දකුණු දළව නිදන් කොට ඇත්තේ මේ පිං බිමේහිය...

2017-07-03 11:38:00       517
feature-top
සේරුවාවිල තෝප්පුර්හි සෝමාවතී විහාරය

නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කයේ සේරුවිල මැතිවරණ කොට්‌ඨාසයේ සේරුවාවිලෙහි උතුරු කෙළවරේ වූ තෝප්පූර් නගරයට ළංව පිහිටි විල්ගම්වෙහෙර නමින් වර්තමානයෙහි හැඳින්වෙන (මේ වූ කලී ත්‍රිකුණාමලයේ වෙල්ගම්වෙහෙර නම් නොවේ.) ඉපැරණි බෞද්ධ ආරාමය, ක්‍රි.පූ. දෙවන සියවසේ ගිරිඅභය රජු විසින් දකුණු දළදා නිදන් කොට ඉදි කළ ඓතිහාසික සෝමනුවර, සෝමවතී විහාරය බව තහවුරු කෙරෙන බොහෝ සාධක, ඓතිහාසික සම්භාව්‍ය පාලි සිංහල සාහිත්‍ය මූලාශ්‍රයයන්ගෙන් ද භූ විෂමතා ලක්‌ෂණවලින් ද පුරාවිද්‍යාත්මක නිදර්ශනයන්ගෙන් ද ශබ්ද විද්‍යාත්මක හේතූන්ගෙන් ද අනාවරණය වෙයි. ඒ එකිනෙක සාධක පහත දක්‌වනු ලැබේ. පළමුව සාහිත්‍ය මූලාශ්‍ර සාධක ඉදිරිපත් කෙරේ.

ලලාට ධාතුව ද කේෂ ධාතු ද නිදන් කොට, ක්‍රි.පූ. දෙවැනි සියවසේ කාවන්තිස්‌ස රජු විසින් මහවැලි ගඟේ දක්‌ෂිණ පාර්ශවයේ සේරුවිලේ වරාහ නම් ගල් කෙම් මත්තේ ගොඩනැඟූ ඓතිහාසික සේරුවිල තිස්‌ස මහා විහාරයේ වංශ කථාවත් දකුණු දළදාව නිදන් කොට ගිරි අභය රජු විසින් ක්‍රි.පූ. දෙවන සියවසේ සේරුවිලේ කෙළවර ගොඩනැඟූ සෝමනුවර සෝමවතී විහාරයේ වංශ කථාවත් යන වංශ කථා දෙකම දැක්‌වෙන්නේ අනුරාධපුර යුගයේ රචිත පාලි නලාටධාතුවංශයේත් දඹදෙණි යුගයේ ලියෑවුණු සිංහල ධාතුවංශයේත් 14 වැනි ශතකයේ සියම් රටේ රචිත පාලි ජිනකාලමාලි යන ඓතිහාසික සම්භාව්‍ය පාලිs සහ සිංහල ග්‍රන්ථ තුනෙහිය. මේ ඉපැරණි සම්භාව්‍ය ග්‍රන්ථ තුනෙහි සඳහන් වන දකුණු දළදා නිදන් කළ සෝමනුවර සෝමවතී විහාරය පිහිටි ස්‌ථානය හා බැඳුනු ඓතිහාසික සාධක මෙසේ ය.

දුටුගැමුණු කුමරු සහ ගිරිඅභය රජු අතර සිදු වූ ක්‌ෂත්‍රිය විවාදය නිසා ගිරි නුවර අත්හැර දැමූ ගිරිඅභය රජ, සිය බිසව වූ සෝමදේවිය සමඟ තමන්ගේ බල සෙනඟ පිරිවරා සිය මිත්‍ර සීව රජුගේ රාජධානිය වූ සේරු නුවරට ගියේ ය. ඔහු පිළිගත් සීව රජ, ගිරි අභය රජුගේ වාසය පිණිස විල් කෙළවර/සමීපයෙහි, සේරු නම් විලේ කෙළවර වූ බිමක නුවරක්‌ ඉදිකොට දුන්නේ ය. ගිරි අභය රජුගේ (ක්‍රි.පූ. 02 ශතකය) දේවියගේ නමින් එම නුවර සෝම නුවර යෑයි නම් කෙරිණ. සෝම දේවියගේ අවශ්‍යතාව ද ඉල්ලීම ද පරිදි ගිරි අභය රජු විසින් එකී සෝම නුවරට නුදුරු නොළං තැන භික්‌ෂූන් සැටදෙනෙකුන් සමඟ මහින්ද නම් රහත් තෙර කෙනකුන් විසූ ස්‌ථානයක දාගැබක්‌ ඉදිකරවන ලදී. එම දාගැබෙහි එකී මහින්ද තෙරුන් වෙත තිබූ බුදුන්ගේ දකුණු දළදාව නිදන් කරන ලදී. එ රජු විසින් එහි පඤ්චාවාසයෙන් යුක්‌ත විහාරයන් ද කෙරිණ. තව ද තෙරුන් වහන්සේ ළඟ වසන්නා වූ භික්‌ෂූන් සැට දෙනකුන් වහන්සේට ද විහාර සැටක්‌ කරවා, පවුරු පදනම් සහිත ඉතා සුදු පැහැයෙන් දිදුලන ප්‍රාසාද කූටාගාර රාත්‍රී ස්‌ථාන, දිවා ස්‌ථාන, මණ්‌ඩප මාළක පැන් පොකුණු ආදියෙන් යුක්‌ත කොට විහාරය අතිශයෙන් දියුණු කොට නිමවා මේ දාගැබ සහිත රමණීය වූ ආරාමය සෝම දේවියගේ නමින් සෝමවතී විහාරය යෑයි නම් කරන ලදී. පාළි නලාටධාතුවංශයෙහි දැක්‌වෙන පරිදි ධාතු බෙදූ ෙද්‍රdaණ නම් බමුණා විසින් සඟවා ගන්නා ලද මෙම දකුණු දළදාව ජයසේන නම් නා රජු විසින් නා ලොවට ගෙන යනු ලැබ කාවන්තිස්‌ස රජු දවස (ක්‍රි.පූ. 02 ශතකය) මහා දේව නම් තෙරුන්ගේ ශිෂ්‍ය මහින්ද නම් තෙරුන් විසින් නා ලොවින් යළි සේරු නුවරට ගෙනවුත් ආරක්‌ෂා කරන ලදී. යථෝක්‌ත සෝමවතී දාගැබෙහි නිදන් කරන ලද්දේ මේ දකුණු දළදාව යි.

ඓතිහාසික සේරුවිල
විල්ගම්වෙහෙර සෝමාවතී
මහා සෑ රජාණන් වහන්සේ පුරාවිද්‍යා කැණීමෙන් පසු

සේරු නුවර සීව රජු විසින් ගිරි අභය රජු සඳහා සෝම නුවර ඉදිකරවන ලද්දේ සේරු නම් විල් කෙළවර බව යථෝක්‌ත ඓතිහාසික සම්භාව්‍ය ග්‍රන්ථ තුනේ ම සඳහන් ය. සේරු නම් විල ආරම්භ වන්නේ මහවැලි ගඟේ අතු ගංගාවක්‌, 'කල්ලාර්' නැමති ස්‌ථානයෙන් සේරුවිලට දියවර සපයමින් සම්බන්ධ වීමෙනි. මේ වර්තමාන 'කල්ලාර්' යනු ඓතිහාසික 'ගල්ආර' නැමති පූර්ව නාමයේ පරිණාමයක්‌ බව පෙනේ. -'ආරැ යනු ගඟකට නමකි. ගල්ආර ඝ කල්ආර ඝ කල්ලාර ඝ කල්ලාර් යි එය පරිණාමය වූ බව සිතිය හැකි ය. මෙ පරිදි කල්ලාර්වලින් ආරම්භ වන සේරුවාවිල් නැමති විල, එකී විලෙහි උතුරු කෙළවරේ පිහිටි තෝප්පූර් නැමති නගරයට ළං වෙමින් එළුවකුගේ ශීර්ෂයක්‌ බඳු ජල ආකෘතියක්‌ සහිත භූවිෂමතාවයක්‌ ද නිර්මාණය කරමින් කෙළවරට පත් වේ. සේරු නම් විලේ කෙළවර එකී ස්‌ථානය යි. සේරු නම් විලේ උතුරු කෙළවරට ළං ව තෝප්පූර් නගරය පිහිටා තිබේ. දකුණු දළදා නිදන් වූ සෝමවතී විහාරය පිහිටි සෝම නුවර යථෝක්‌ත සේරු නම් විලට ළංව පිහිටි බවට තව ද සාධක යථෝක්‌ත පාළි නලාටධාතුවංශයේත් එහි සිංහල අනුවාදය වූ සිංහල ධාතුවංශයේත් මෙසේ සඳහන්ව තිබේ.

කාවන්තිස්‌ස රජ, වප් මස පසළොස්‌වක පෝය දින පස්‌වරු, සෝම නුවරින් නික්‌ම සේරු නම් තටාක සමීපයෙහි/සේරු තටාකයෙහි නොයෙක්‌ ග`ද විලවුන් ගෙන අනේක ප්‍රකාර වස්‌ත්‍රාභරණයෙන් සැරහී පිළියෙළ වූ නාටක ස්‌ත්‍රීන් නටවමින් ගී කියවමින් වාද්‍ය භාණ්‌ඩ ගස්‌වමින්, සේරු නුවර සීව රජු ප්‍රමුඛ කොටගත් සීව රජුගේ චතුරංගිනී සේනාව ද ලෝණ නුවර මහානාග රජු ප්‍රමුඛ කොට ගත් මහානාග රජුගේ චතුරංගිනී සේනාව ද සෝම නුවර ගිරි අභය රජුගේ බිසව වූ සෝම දේවිය සහ ගිරි අභය රජු ප්‍රමුඛ කොට ගත් එ රජුගේ චතුරංගිනී සේනාව ද පිරිවරා එකී පුණු පොහෝ දිනම දඬුවැට පහන් දැල්වීමට පළමු, සඳුගේ උර්වට පෙර ම, සේරු විල් සමීපයේ වූ ලලාට ධාතු, කේෂ ධාතු නිදන් කොට, තමා විසින් ගොඩනැඟූ සේරුවිල තිස්‌ස මහා විහාරයට/තිස්‌ මහ වෙහෙරට එකී විහාරය සඟ සතු කොට පූජා කිරීමේ එදින අස්‌විදේ නැකතට පෙර පැමිණියේ ය. මේ පෙරහැර වූ කලී රජුන් සතර දෙනකුන්ගේ ඇත් අස්‌ රිය පාබල යන සිව්රඟ සෙනඟින් යුත්, සෝම දේවියගේ පිරිවර දෙදහසක්‌ වූ පරිවාර කාන්තාවන්ගෙන් යුත් දීර්ඝ වූ පෙළගැස්‌මකින් යුත් අතිශයින් සෝභාසම්පන්න වූවකි. මේ පෙරහැර රජුන් සතර දෙනකුන්ගේ ඇත් බළඇණියෙන් ද යුක්‌ත වූ බැවින් මේ පෙරහැරේ ගමන ඉතා හෙමින් සන්සුන් ගමනින් සිදුවීම අනිවාර්ය වේ. සෝම නුවරින් නික්‌මුණු මේ පෙරහැර සේරු විලේ - එ නම් විලේ - ඉවුරෙහි පෙළ ගැස්‌ වූ වගත් එකී දීර්ඝ පෙරහැර ඒ පෝය දිනම චන්ෙද්‍රdaදයට පෙර ලලාට ධාතු, කේෂ ධාතු තැන්පත් ඓතිහාසික සේරුවිල තිස්‌ස මහා විහාරයට සම්ප්‍රාප්ත වූ බවත් සඳහන් වීමෙන් ප්‍රකට වන්නේ සේරු නම් විලේ උතුරු කෙළවර ඉදිවූ සෝම නුවරත් යථෝක්‌ත ඓතිහාසික සේරුවිල තිස්‌ස මහා විහාරයත් අතර දුර කි.මී. දෙක හමාරක්‌ හෝ කි.මී. තුන හමාරක්‌ පමණ වූ වගය. එ හෙයින් දකුණු දළදා නිදන් වූ ඓතිහාසික සෝමවතී විහාරය පිහිටි සෝම නුවර පිහිටා තිබිය යුත්තේ මේ සාධක අනුව, සේරු නම් විල් කෙළවර හෙවත් වර්තමාන සේරු නම් විලේ උතුරු කෙළවරේය. සේරු නම් වූ විලේ උතුරු කෙළවරේ වත්මන් තෝප්පූර් නගරය පිහිටා ඇත. මේ තෝප්පූර් යනු ඓතිහාසික 'ථූපපුර' යන්නෙන් බිඳුණු නමකැයි ඇතැම් විද්වතුන් මත ඵළ කළත් 'ථූපපුර' යි පුරයක්‌/නගරයක්‌ ඓතිහාසික ලංකාවේ කවර ස්‌ථානයකවත් පැවති බවට ඓතිහාසික වාර්තා හමු නොවේ. එහෙයින් එකී මතය බැහැර කිරීම අනිවාර්යයෙන් සිදු වේ. මේ -'තෝප්පූර්' යනු ඓතිහාසික සෝමනගර/සෝමනුවර/සෝමපුර යන්නේ වර්තමාන නාමය බව ශබ්ද විද්‍යා මූලධර්ම අනුව තහවුරු කළ හැකිය. එහි ප්‍රභවය/පරිණාමය/විපරිණාමය සිදු වී ඇති අනු පිළිවෙළ මේ අයුරින් පෙළ ගැස්‌විය හැකි වේ.

සෝමනගර ඝ සෝමනකර (-ග- ඝ -ක- වී) ඝ සෝමනුවර ඝ සෝම්නෝර් (ගඟේනුවර ගන්නෝරුව වූවා මෙන්) ඝ සෝම්නූර් ඝ සෝම්පූර් ඝ තෝම්පූර් (ස ඝ ත වීම) ඝ තෝප්පූර් (පරරූපී සමීකරණ) හෝ ඓතිහාසික සෝමපුර ඝ සෝම්පූර් ඝ තෝම්පූර් ඝ තෝප්පූර් යි විපරිණාමයට පත් වීම සිදු විය හැක්‌කකි. මෙ පරිදි සේරු නම් විලේ උතුරු කෙළවරේ පිහිටි වර්තමාන -'තෝප්පූර්' නමින් හැඳින්වෙන නගරය, දකුණු දළදා නිදන් කළ සෝමවතී විහාරය පිහිටි ඓතිහාසික සෝම නුවර බව භූවිෂමතා සාධකවලින් ද වාග් විද්‍යාත්මක සාධකයන් ගෙන් ද පැහැදිලි වේ. තෝප්පූර් නගරයේ සිට කි.මී. එකක්‌ පමණ දකුණු දිගින් පිහිටි වර්තමාන -පාල 'තෝප්පූර්' ස්‌ථානය, ඓතිහාසික පහළ සෝම නුවර බව ද සුපැහැදිලි වේ.

තව ද දකුණු දළදා නිදන් කළ ඓතිහාසික සෝමවතී විහාරය ඉපැරණි සෝම නුවර සිට ඇවිද ගෙන යා හැකි දුරකින් පිහිටි බව මෙහි පෙර සඳහන් කෙරිණ. යථෝක්‌ත වර්තමාන තොප්පූර් නගරයෙන් කි.මී. දෙකක්‌ පමණ නැගෙනහිරින් සේරු නම් විලේ අයිනේ විල්ගම්වෙහෙර නමින් වර්තමානයේ හැඳින්වෙන (මේ වූ කලී ත්‍රිකුණාමලයේ වෙල්ගම්වෙහෙර නම් නොවේ.) ඉපැරණි බෞද්ධ ආරාමයේ අක්‌කර පණහකට වඩා බිම් පෙදෙසක පැතිරී ගිය වනයක විසිරී පැවතුණු පුරාවිද්‍යා නෂ්ටාවශේෂයන් ගෙන් යුත් ඓතිහාසික ස්‌ථානයක්‌ 1971 වර්ෂයේ දී මේ ලිපියේ වර්තමාන ලේඛකයාට දක්‌නට ලැබිණ. එකී පුරාවිද්‍යා නටබුන් පෙදෙසේ කිසිදු ගෙයක්‌ හෝ වගාවක්‌ හෝ 1971 වසරේ නොවීය. ඉපැරණි බෞද්ධ විහාරයන් සතු චෛත්‍යයක නටබුන් ද පඤ්චායතන ස්‌වරූපයෙන් යුත් නටබුන් ගල් ශේෂ ද විවිධ වර්ගයේ සඳකඩ පහණ ද සිරිපතුල් ගල් ද වජ්‍රාසන ද යූප ගල් ද ජත්‍ර ගල් ද එහි විසිරී පැවතිණ. මේ ඓතිහාසික බෞද්ධ විහාරය, දකුණු දළදා නිදන් කළ ඉපැරණි සෝමවතී දාගැබ ප්‍රමුඛ කොට ගත් විහාරය බවට හඳුනාගත හැකි ය. මේ බවට තව ද පැහැදිලි ඉතා ප්‍රබල සාධකයන් ද තිබේ. එනම් දකුණු දළදා නිදන් කළ සෝමවතී විහාරයත්, ලලාට ධාතු කේෂ ධාතු නිදන් කළ සේරුවිල තිස්‌ස මහා විහාරයත් එකිනෙක ඉතා නුදුරෙහි පිහිටි බවට සාධක යථෝක්‌ත සම්භාව්‍ය ග්‍රන්ථ ත්‍රයේ ම විද්‍යමාන වේ. ලලාට ධාතුව, රුහුණේ මාගම් නුවර සිට කාවන්තිස්‌ස රජු විසින් සේරුවිලට වඩම්මවාගෙන පැමිණි වේලේ ලලාට ධාතු උපස්‌ථානයටත් සංඝ උපස්‌ථානයටත් වැඩියේ සෝමවතී විහාරයේ මහින්ද රහතුන් ප්‍රමුඛ සඟරුවන ය. සේරුවිල තිස්‌ස මහා විහාරයට ගඩොල් හමු වූ බලපාසාණයට ගිය පිරිස අතර සෝමවතී විහාරයේ මිහිඳු තෙරුන් ප්‍රමුඛ වූ සඟරුවන ද වූහ. සේරුවිල තිස්‌ස මහා විහාරයේ වැඩ අවසන් වූ කොට, වප් මස පුණු පොහෝදා ඒ වෙහෙර සඟ සතු කළ මහා උත්සවයට ද සෝමවතී විහාරයේ මිහිඳු තෙරුන් ප්‍රමුඛ සංඝයා වහන්සේ සහභාගී වූහ. ලලාට ධාතු නිදන් වූ සේරුවිල තිස්‌ස මහා විහාරයත් දකුණු දළදා නිදන් වූ සෝමවතී විහාරයත් යන විහාර දෙක එකිනෙක කිට්‌ටුව පැවති බවට මේ නොබිඳිය හැකි සාධක ය. යථෝක්‌ත තෝප්පූර් හි විල්ගම්වෙහෙරත්, ලලාට ධාතු නිදන් වූ සේරුවිල තිස්‌ස මහා විහාරයත් අතර වර්තමාන දුර කි.මී. 03.5 පමණ වේ. මෙයින් ද පැහැදිලි වන්නේ තෝප්පූර් හි, විල්ගම්වෙහෙර ආරාම සංකීර්ණය දකුණු දළදා නිදන් වූ ඓතිහාසික සෝමවතී විහාරය බවට බොහෝ සාධක විද්‍යමාන වන බව ය.

යථෝක්‌ත තෝප්පූර් දාගැබේ, 2015 වසරේ සිදු කළ පුරාවිද්‍යා කැණීම්වල දී එහි ක්‍රි.පූ. දෙවැනි ශතකයට අයත් ආදි බ්‍රාහ්මී අක්‌ෂර සහිත ඉපැරණි ගඩොළු සමූහයක්‌ හමු විය. මේ දාගැබේ නිර්මාණ සමය ක්‍රි.පූ. දෙවැනි ශතකයට අයත් බව එයින් පුරාවිද්‍යාත්මකව නිශ්චිත වූයේ ය. ගිරිඅභය රජු විසින් දකුණු දළදා නිදන් කොට ඉදි කළ සෝම නුවර, සෝමවතී දාගැබේ නිර්මාණ සමය ද ක්‍රි.පූ. දෙවැනි ශතකය යි. එහෙයින් මේ ඓතිහාසික සෝමවතී දාගැබ බවට තව ද සාධකයකි. මේ පුරාවිද්‍යා කැණීම්වල "සිරිපතුල් ගල්, වජ්‍රාසන, යූපගල්, ඡත්‍රගල් ආදිය ද හමු විය. මේ ඓතිහාසික දාගැබේ නිර්මාණ සමය ක්‍රි.පූ. යුගයේ බව ඉනිදු නිශ්චිත වූයේ ය.

මේ දකුණු දළදා නිදන් වූ ඓතිහාසික බෞද්ධ උරුමය ජාති, ආගම්, භාෂා භේදයකින් තොර ව ශ්‍රී ලාංකේය ජාතික දායාදයක්‌ සේ සළකා ලක්‌ රජය විසින් ද මුස්‌ලිම්, දමිළ, සිංහල, බර්ගර්, මැලේ ජනයා විසින් ද එක්‌සිත්ව එක්‌සත්ව ආරක්‌ෂා කර ගත යුතු වේ. එය ඔවුන් සියලු දෙනාගේ ශුභ සිද්ධිය සඳහා මාර්ග විවෘත කරනු ඇත.

මෙහි දී තවත් අවධානය යොමු කළ යුතු කරුණක්‌ නම් දකුණු දළදා නිදන් කළැයි විශ්වාසයක්‌ පවතින පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ පිහිටි වර්තමානයේ සෝමාවතී විහාරය යෑයි හැඳින්වෙන විහාරය, ගිරිඅභය රජු විසින් ක්‍රි.පූ. දෙවන ශතකයේ දකුණු දළදා නිදන් කොට ගොඩනැඟූ සේරුවිල් අසබඩ ඓතිහාසික සෝම නුවර වූ සෝමාවතිය නොව එකී විහාරය, ක්‍රි.ව.07-19 කාලය තුළ එනම් ක්‍රි.ව. පළමුවැනි සියවසේ, ලක්‌ රජය කළ මහාදාඨික මහානාග රජුගේ පුත්‍ර නකල කුමරු විසින් තම නම තබා ගොඩනැඟූ ප්‍රාචීන නාගාරාම (පජින නකෙල අරබ විහර) විහාරය බව එකී ස්‌ථානයෙන් ලැබුණු ගිරි ලිපියෙන් සනාථ වේ.

"සිධ නක මහ රජ, රජ අඩි පිටිය තුමහ පුත අය නකලයහ කරිත පජින නකෙල අරබ විහරට දිනෙ" යනුවෙනි. මේ පුවත ම මෙහි ඇති මහා දාඨික මහානාග රජුගේ ගල් පුවරු ලිපියේ ද යළි සඳහන්ව ඇත.

"සිද්ධම්. මහ නක රජහ පුත අය නකෙල නමෙ පජිනි නක අරබ විහර කරිතෙ මහ නක රජ තුමහ පුතහ විහරහි උපධරිණි විහරන කෙතනහි රජළි කෙතහි කරිහි සතක සග බකි දිනි."

වත්මන් සිංහල අනුවාදය ( "යහපතක්‌ වේ වා. මහානාග රජු ගේ පුත් වූ නකෙල කුමරු විසින් පාචීන නාගාරාම විහාරය සාදන ලදී. මහා නාග රජ තෙමේ තම පුතණුවන් සෑදූ විහාරයෙහි භික්‌ෂූන්ගේ නඩත්තුව පිණිස විහාරය පේනතෙක්‌ මානයේ වූ රජළි කුඹුරේ කිරිය සියයක වපසරිය පරිත්‍යාග කළේය."

එහෙයින් වර්තමානයේ පොළොන්නරුවේ සෝමවතී දාගැබ යෑයි යම් විහාරයක්‌ හැඳින්වේ ද එය ඓතිහාසික සෝමාවතිය නොව නිවැරදිව කියනවා නම් එය නැගෙනහිර නාගාරාමයයි. පොළොන්නරුවේ මේ නාගාරාම මහා විහාරය අතිශයින් පූජාර්හ වූ අති දුර්ලභ සර්වඥ ධාතු නිශ්චිතව ම නිදන් වූ ගෞරවාර්හ බෞද්ධ විහාරයකි. තව ද මේ විහාරය ඓතිහාසික සේද මාවතේ කේන්ද්‍රීය ස්‌ථානයක පිහිටමින් මීන් විල - ඓතිහාසික "හවිතක" නැමති සුන්දර වූ විල් තටාකයට ළංව බැබළෙමින් පවතී. මේ ලිපියේ වර්තමාන කතුවරයා මේ ඓතිහාසික විහාරයට නොයෙක්‌වර ගොස්‌ එකී මහා විහාරයේ පවත්නා මේ ආශ්චර්යය සියෑසින් අත්දුටුවෙකි.

දකුණු දළදා නිදන් වූ ඓතිහාසික සෝම නුවර වූ සෝමවතී විහාරය ඇතුළු ලලාට ධාතු කේෂ ධාතු නිදන් වූ සේරුවිල තිස්‌ස මහා විහාරයත් පාසාණ පබ්බත මහා විහාරයත් ලංකා පටුනේ ඓතිහාසික උදුම්බර මහා විහාරයත් සේරු විලත් ගැන තව දුරටත් අධ්‍යයනය කිරීමට කැමැත්තෝ වෙත් නම් මේ ලිපියේ වර්තමාන කතුවරයා විසින් වසර පසළොසකටත් වඩා කාලයක්‌ පර්යේෂණ කොට රචිත මරදානේ ගොඩගේ 2017 වසරේ මුද්‍රණයෙන් ප්‍රකාශිත "දකුණු දළදා නිදන් කළ ඓතිහාසික සෝම නුවර සහ සෝමවතී විහාරය හඳුනා ගැනීම" නැමති ග්‍රන්ථය කියවත්වා.



Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »