දකුණු මුහුදු තීරයේ සොඳුරු දසුන් ඔස්සේ කන්දේ විහාරයට

2017-03-31 12:04:00       829
feature-top
ඉන්දියන් සාගරයේ මුතුඇටය නමින් හඳුන්වන අපේ රට තරම් සංචාරය කිරීම සඳහා සුදුසු වෙනත් දිවයිනක් ලෝකයේ වෙනත් මහද්වීපයක දක්නට නොලැබෙන බව අපගේ පෞද්ගලික මතයයි.

මෙරට තුළදී ලෝකයේ තිබෙන ඕනෑම දේශගුණික රටාවක් පැය 04ක් වැනි සුළු කාලයක් තුළදී විඳගැනීමට හැකි නිසා විදෙස් සංචාරකයෝ වැඩි වශයෙන් මෙහි පැමිණීමට ප්‍රිය කරති. එලෙස මෙරටට පැමිණෙන සංචාරකයන් අපට වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ දකුණුලක මුහුදු තීරයේදීය. දූපතක් ලෙස ශ්‍රී ලංකාව වටා කිලෝමීටර් 1500කට වඩා විශාල වෙරළ තීරයක් පිහිටා තිබුණත්, වැඩි දෙනා නිදහසේ නිවාඩුවක් ගත කිරීමට තෝරාගනු ලබන්නේ දකුණු පළාත තුළ තිබෙන මුහුදු තීරයයි. පහසුවෙන් ළඟා වීමට හැකි නිසත්, එකි නෙකට වෙනස් මුහුදු වෙරළ දක්නට ලැබෙන නිසත් සංචාරකයෝ වැඩි වශයෙන් එහි සැරිසරති.

අප මෙවර සංචාරයේ ආරම්භය සනිටුහන් කළේ දෙස්-විදෙස් සංචාරකයන්ගේ නෙත් සිත් බැඳගත් තෝතැන්නක් වන කළුතර කැලිඩෝ වෙරළ තීරයෙනි. කළුතර පුරවරයට පා තබන දෙස්-විදෙස් සංචාරකයන්ගේ දැඩි අවධානයට ලක්වන කළුතර බෝ සමිඳුන්ගේ ආශිර්වාදය ලබාගෙන නැවතත් කොළඹ-ගාල්ල ප්‍රධාන මාර්ගය ඔස්සේ කොළඹ දෙසට ගමන් කිරීමේදී හමුවන කළුතර මහ පාලම පසුකරනවාත් සමගම හමුවන වම්අත දෙසට දිවෙන මාර්ගය ඔස්සේ ඉදිරියට ගමන් කරනවිට මෙම සොඳුරු වෙරළ තීරයට ළඟා විය හැක.

2004 වසරේ දෙසැම්බර් 26 දින ඇති වූ සුනාමි රළ පහරින් කළුතර බෝ සමිඳු හා කළුතර දුම්රිය පාලමත්, මහ පාලමත්, කළුතර නගරයත් ආරක්ෂා වූයේ මෙම මුහුදු තීරය වසාගත් වැලි තලාව සහ කඩොලාන, වැටකේ ඇතුළු ශාඛ වර්ග නිසාය.

එක් පසකින් කළු ගඟත්, තවත් පසකින් මුහුදත් එක් ස්ථානයක සිටම නැරඹීමට හැකි බැවින් මෙම ස්ථානය වඩාත් ජනප්‍රිය වී තිබේ. වෙරළ දිගේ කළුතර දෙසට ඇවිදගෙන යනවිට කළු ගඟ මුහුද සමග එක්වන මෝයකටද මෙහි සංචාරයේ නිරත වන ඔබට දැකබලා ගැනීමට හැකියාව ලැබේ. කළු ගඟත්, මුදුදත් වෙන් කෙරෙන මෙම මුහුදු තීරයේ දිග කිලෝමීටර් දෙකක් පමණ වේ.

මෙහි වැඩි වශයෙන්ම දක්නට ලැබෙන්නේ පෙම්වතුන්ය. ඔවුන්ට නිදහසේ පෙම්බස් දෙඩීමට මෙම මුහුදු තීරයේ ශාඛවලින් පිරීගිය බිම් තීරුවේ ඉතා සිත් ගන්නා සුළු ලියවැල්වලින් පිරි ස්ථාන රාශියක් ස්වභාවිකවම පිහිටා තිබේ. මෙහි රැල්ල තරමක් ප්‍රචණ්ඩ වන හෙයින් මෙහි දිය නෑම එතරම් උචිත නොවන බව අපගේ හැඟීමය. නමුත් ක්‍රීඩා කිරීමට, මංගල ඡායාරූප ගැනීමට, නිදහසේ සිටීමට මෙම වෙරළ තීරය ඉතා උචිතය. මෙම වෙරළේ සුන්දරත්වය ඈතින් පෙනෙන කළුතර ‍චෛත්‍යය නිසා වර්ධනය වී ඇත.

එම වෙරළ තීරයට සමුදුන් අපි නැවතත් ගාල්ල දෙසට ගමන් කළෙමු.

බේරුවල නගරය පසු කරමින් ඉදිරියට යනවිට අලුත්ම නගරයට තරමක් ආසන්නයෙන් පිහිටා තිබෙන මොරගල්ල වෙරළ තීරය අපිට හමුවිය. මෙම මුහුදු තීරයට වැඩි වශයෙන් විදෙස් සංචාරකයන් පැමිණෙන්නේ අව් රශ්මිය විඳීම සඳහාය. මෙම මුහුදු තීරයට අධික අව් රශ්මියක් ලැබෙන හෙයින් ඔබ එහි යන්නේනම් හිමිදිරි උදෑසන හෝ හිරුබැස යන ගොම්මන් යාමයේ ඒ වෙත යාමට වග බලාගන්න. මෙහි යන ඔබට ජල ක්‍රීඩාවල යෙදීමටද අවස්ථාව සැලසෙයි. දිය නෑමට වඩාත් ප්‍රසිද්ධියක් තිබෙන මෙම මුහුදු තීරය ලොකු කුඩා කාහටත් එකසේ විනෝදවීමට හැකි ඉසව්වක් ලෙස හඳුන්වාදිය හැකිය. මොරගල්ල මුහුද බෙන්තර ගඟ සමග සම්බන්ධ වන ස්ථානයේ සිට කිලෝමීටර් 04ක දුරකට මෙම මුහුදු සීමාව විහිදී තිබේ. ඉන් කිලෝමීටර් 02ක සීමාව තුළදී දැකිය හැක්කේ විදෙස් සංචාරකයන්ය. එම සීමාව තුළ ඔවුන්ට අවශ්‍ය ජල ක්‍රීඩා, බෝට්ටු සවාරි, ආහාරපාන ලබාදීමෙන් සිය දිවිය රැකගන්නා ගම්වාසීන් බොහෝමයක් වාසය කරති.

එම මුහුදු තීරයට සමුදුන් අපි නැවතත් කොළඹ-ගාල්ල ප්‍රධාන මාර්ගයට පිවිස බෙන්තොට දුම්රිය ස්ථානය පිහිටි ඉසව්ව වෙත ළඟාවීමු. බෙන්තොට දුම්රිය ස්ථානය පිහිටි ස්ථානයට නුදුරින් වාහනය නවත්වා බෙන්තොට විනෝද උයන මධ්‍ය‘යෙන් බෙන්තොට වෙරළ දක්වා අපි ගමන් කළෙමු. අප අනෙකුත් ස්ථානයන්හිදී දකින මුහුදු වෙරළකට වඩා මෙම මුහුදු වෙරළ ඉතා චමත්කාරජනකය. ඒ අවට තිබෙන හෝටල් සහ අවන්හල් විසින් මෙම වෙරළ මනා ලෙස නඩත්තු කරගෙනයන බව අපට පෙනුණි. මෙය ඉතා දීර්ඝ වෙරළ තීරයකි. මෙහි මුහුදු ජලයත් ඉතා පිරිසිදුය. එමෙන්ම මෙය ජනාකීර්ණ නොවන පරිසරයක පිහිටා තිබෙන නිසා ඉතා නිදහස්ය.

වෙරළේ සිට නොගැඹුරු මුහුදු සීමාව මීටර් 25ක් පමණ දුරට විහිදෙන නිසා ආරක්ෂාකාරීව දියනෑමටත්, ජල ක්‍රීඩා කිරීමටත් මෙය කදිම තෝතැන්නකි. සංචාරකයන් බහුලව ගැවසෙන හෙයින් මෙම වෙරළේ ජීවිත ආරක්ෂක කණ්ඩායම්ද යොදවා තිබේ. මංගල ඡායාරූප ගැනීමට, පවුලේ සැමට ගොස් විනෝද වීමට, පෙම්සුව විඳින්නට, ක්‍රීඩා කිරීමටද මෙය කදිම ඉසව්වකි. එමෙන්ම මුහුදු වෙරළක් ආශ්‍රිතව මධුසමය ගත කිරීමට කැමැත්ත දක්වන යුවළකට ඒ සඳහා අවස්ථාව උදාකර ගැනීමට මෙම වෙරළ අවට සුප්‍රසිද්ධ හෝටල් ගණනාවක්ද පිහිටා තිබේ.

බෙන්තොට මුහුදු තීරයට වී සුළුවේලවක් එහි සිරිය නැරඹූ අප, කාලවේලාව ඉතා සීමිත බැවින් කොස්ගොඩ ප්‍ර‘දේශය වෙත ගමන් ඇරඹුවේ තවත් නැවුම් අත්දැකීමක් ඔබ වෙත තිළිණ කිරීමේ බලාපොරොත්තුවෙනි.

කොස්ගොඩ නගරය වෙත ගමන් කළ අප මුලින්ම පිවිසුණේ කොස්ගොඩ මුහුදු කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය වෙතය. ළදරු කැස්බෑවන්, විවිධ කැස්බෑ වර්ග, කැස්බෑ බිත්තර මගින් පැටවුන් බෝ කරන ආකාරය දැකබලා ගැනීමට ඔබට මෙහිදී හැකිවෙයි. පාසල් ළමුන්ට කැස්බෑවන් පිළිබඳව ඉතා ඉහළ දැනුම් සම්භාරයක් එහිදී ලබාගැනීමටද හැකියාව තිබේ. එම මධ්‍යස්ථානය නැරඹීම සඳහා දේශීය පාසල් සිසිවෙකුගෙන් රු.20ක මුදලකුත්, දේශීය වැඩිහිටි කෙනෙකුගෙන් රු.50ක මුදලකුත් අයකරනු ලැබේ. එම මධ්‍යස්ථානය පිහිටි භූමියේ පිටුපස වෙරළ කැස්බෑවන් බිත්තර දැමීම සඳහා බහුලව පැමිණෙන මුහුදු තීරයකි. ඉතා පළලින් සහ දිගින් යුක්තව පිහිටා තිබෙන මෙම මුහුදු තීරය ඉතා දැකුම්කළුය. දේශීය සංචාරකයන්ට මෙම මුහුදු තීරය විවාහ මංගල ඡායාරූප ගැනීම සඳහා ඉතා මනරම් දර්ශන තලයකින් යුක්තය. පවුලේ සැමට සැන්දෑ යාමයකට ගොස් ක්‍රීඩා කරමින්, රැල්ල පාගමින්, විනෝද වීමටද හැකියාව ලැබේ.

දකුණු පළාතේ තවත් සොඳුරු මුහුදු වෙරළ රාශියක් පිහිටා තිබුණත්, කාලවේලාව නොමැති නිසා අප කොස්ගොඩ ප්‍ර‘දේශයෙන් අපගේ ගමන නිවාමට පත්කළේ වෙනත් දිනයකදී අනෙකුත් මුහුදු වෙරළ වෙත ගමන් කිරීමේ බලාපොරොත්තුවෙනි.

නැවතත් කොළඹ දක්වා එන අතරවාරයේදී ගතත් සිතත් එක ලෙස පුබුදුවා ගැනීමට හැකි තවත් අපූරු පිං භූමියක් වෙත අපි ගමන් කළෙමු. මෙම සොඳුරු ඉසව්ව හමුවන්නේ අලුත්ගම, කලුවාමෝදර මංසන්දියෙන් හැරී කාලවිල මාර්ගය ඔස්සේ සැතපුම් භාගයක් පමණ ගමන් කළ විටය. බෙන්තොට ගලපාත විහාරය මූලස්ථානය කරගෙන කන්ද උඩරට රාජාධි රාජසිංහ සමයේ ආරම්භ වී ඇති මෙම විහාරස්ථානය වර්තමානයේ හඳුන්වන්නේ කන්දේ විහාරය නමිනි. දිනපතා පැවැත්වෙන ගිලන්පස බුද්ධ පූජා, දේව පූජා මෙන්ම වාර්ෂික කිරිපිඬු හා මුරුතැන් පූජා විහාරස්ථ ආගමික වැඩසටහන් අතර මුල් තැනක් ගනියි.

බුද්ධ වර්ෂ 2479 දී ඉදි කෙරුණු වර්තමාන දාගැබ ඉදිරිපිට භූමිස්පර්ශ මුද්‍රාවෙන් නිර්මාණය කළ දර්ශනීය බුද්ධ ප‍්‍රතිමාවක් සහිත කුඩා මැදුරක් හා දැකුම්කළු මලසුන් ගෙයක් පිහිටා තිබේ. අට පැතලි වේදිකාවක් මත නිර්මාණය කර ඇති දාගැබ විහාරස්ථානයේ සුන්දරත්වය වඩාත් වර්ධනය කරයි. මහනුවර යුගයේ චිත‍්‍ර සම්ප‍්‍රදායට නෑකම් කියන පැරැණි බිතුසිතුවම්වලින් යුත් ඉපැරැණි ධාතු මන්දිරයේ රිදියෙන් කළ කරඬුවක සර්වඥ ධාතු තැන්පත් කර තිබීම විහාරස්ථානයේ ඇති පූජණීයත්වයට හේතුවකි. විහාරස්ථ අති පැරැණි සුවිසල් බෝධිය මෙම පුදබිමේ පෞරාණික බව කියා පාන ප‍්‍රබල සංකේතයක් වන අතර, මෑතකදී ඉදි කරනු ලැබූ 107 රියන් සමාධි බුදු පිළිමයද විහාරස්ථානයට අසිරිමත් දසුනක් ගෙන දෙයි. එම බුදු පිළිමය යට කොටසේ ප‍්‍රතිමා, සිතුවම් සහිත විහාර ගෙයක්ද නිර්මාණය කර තිබේ. මේ වනවිට එම විහාර ගෙය බුද්ධ ප්‍රතිමාවේ ඉහළ කොටස තෙක් ගමන් කිරීම සඳහා සංවර්ධනය වෙමින් පවතී. මේ වනවිට මහල් 3ක් දක්වා අපට සිතුවම් නරඹමින් එම බුද්ධ ප්‍රතිමාව තුළින් ගමන් කිරීමට අවකාශය සැලසෙයි. එමෙන්ම බුදු මැදුරේ වම්පස ඇති විෂ්ණු දේවාලයේ රන්මිණි මුවා ඔටුන්නක් සහිත ආභරණවලින් සැරසූ ජීවමාන ස්වරූපයක් ගන්නා විෂ්ණු දේව හිඳි පිළිමයක් තැම්පත් කරතිබේ. කන්දේ විහාරය වඩාත් ප‍්‍රසිද්ධියට පත්වීමට බලපා ඇත්තේ මහානුභාව සම්පන්න බල ඇතැයි සැලකෙන මෙම විෂ්ණු දේවාලයයි. සතියේ දින හතේම උදෑසන සිට රාත‍්‍රිය දක්වා මෙම පුද බිම සැදැහැවත් බැතිමතුන්ගෙන් පිරී පවතී. ඔබත් එහි අනුහස් ලබාගැනීමට එහි යන්නේනම් විහාරයේ පරිසරය රැකෙන පරිදි තැඹිලි කෝම්බ හා නොදිරන දෑ විහාර භූමියේ නොදැමීමට වගබලා ගන්න.

saaravita.lk



More News »