රාජාංගණයේ හත්ථිකුච්ඡි විහාරය

2017-03-22 10:32:00       829
feature-top
කුරුණෑගල අනුරාධපුර පාරේ 43 වැනි සැතපුම් කණුව අසලින් බටහිර දෙසට පිහිටි පාරේ සැතපුම් 3 ක් පමණ ගිය විට මෙම පුද බිම හමු වේ. කි‍්‍ර. ව. 2 වන සියවසට අයත් වූ මෙම ස්ථානයෙහි ඇති සෙල් ලිපියක අති කු(චි)ය විහාරය යැයි මෙම ස්ථානය හඳුන්වා ඇත. කි‍්‍ර. පූ. 3 වන සියවසේ සිට කි‍්‍ර. ව. 9 වන සියවස දක්වා වූ කාලයට අයත් සෙල්ලිපි මෙම පුද බිමෙහි ඇත. මේ අතර සමාන්‍ය සෙල්ලිපි 6 ක් ද වහරළ ලිපි රැසක් ද මෙහි ඇත.දැනට මෙහි පොහොය ගෙයක්, බුදු මැදුරක්, තෙමහල් ධාතු මන්දිරයක්, උස් මාලකයක් මත කරවන ලද වටදාගෙයක්, චෛත්‍ය 8 ක්, දාන ශාලාවක් හා ඕවලාකාර හැඩයෙන් යුක්ත ශාලාවක නටබුන් දැකිය හැකිය. පොකුණු 16 ක්, ලෙන් 38 ක් ද, පධානඝර ඇතුළු කුටි රාශියක් ද ඇත. මෙතෙක් හඳුනා නොගත් ගොඩනැගිලි ද මෙහි වේ. අක්කර 300 ක පමණ ප‍්‍රදේශයක මෙම නටබුන් විසිර පැවතීමෙන් මෙම පුද බිම කෙතරම් දියුණු තත්ත්වයක තිබුණේ දැයි සිතා ගත හැකිය.

හත්ථිකුච්ඡි විහාර පර්වතයමෙහි එක් ලෙනක නුවර යුගයට අයත් වූ 18 රියන් බුදු පිළිමයකි. එය සම්පූර්ණයෙන් ම විනාශයට පත් වී ඇත. ගොඩනැගිලි නටබුන් අනුව කි‍්‍ර. පූ. 3 වෙනි සියවසේ සිට කි‍්‍ර. ව. 10 වන සියවස දක්වා ම මෙම ස්ථානය බෞද්ධ සිද්ධස්ථානයක්ව පැවැති බව පෙනේ. ඒ අනුව ආරම්භයේ දෙවනපෑතිස් රජ යුගයේ සිට වන සෙනසුනක් ලෙසින් පැවති මෙම හත්ථිකුච්ඡි විහාරය පැරණි පුද බිමකි.සිරිසඟබෝ රජතුමා (කි‍්‍ර. ව. 251 - 253) අනුරාධපුර රාජ්‍යය අතහැර සාමාන්‍ය ඇඳුම් ඇඳගෙන දිය පෙරන පෙරහන්කඩය පමණක් ගෙන අනුරාධපුර රාජධානියේ දකුණු දොරටුවෙන් පිට වී දකුණු දිසාවට ගමන් කළ බව මහාවංසයේ සඳහන් වී ඇත. දීපවසංයේ ද ඉතා කෙටියෙන්් මේ බව සඳහන් වී ඇත. මේ පිළිබඳ විස්තර කරන මහාවංසටීකාව අනුව ඉසුරුමුණි විහාරයට දකුණු දිසාවේ පිහිටි ස්ථානයක සිරිසඟබෝ රජතුමා හිස දන්දුන් බවත්, එහි ගෝඨාභය රජතුමා (කි‍්‍ර. ව. 253 - 266) ඔහුගේ නමින් විහාරයක් කර වූ බවත් සඳහන් වේ.සිරිසඟබෝ රජතුමා හිස දන්දුන්නේ මෙම හත්ථිකුච්ඡි නම් ස්ථානයේ දී බව විද්වත්හු ප‍්‍රකාශ කරති.අනුරාධපුරයේ සිට රාජාංගණයේ හත්ථිකුච්ඡි විහාරයට සැතපුම් 13 කි. මේ මාර්ගය අනුරාධපුරයේ දකුණු දොරටුවෙන් පිටත්්ව අංගමුවෙන් නිළි පාලම හරහා කලා ඔයෙන් එතෙර වී තඹුත්ත හරහා රාජාංගණ හත්ථිකුච්ඡි විහාරය සමීපයට වැටෙන්නට මාර්ගයක් ඇත. ජනප‍්‍රවාදය අනුව අනුරාධපුරයේ සිට රාජාංගණය දක්වා වැටී ඇති මාර්ගය හඳුන්වන්නේ රජාගිය පාර යනුවෙනි. එසේ ප‍්‍රකාශ කරන්නේ සිරිසඟබෝ රජතුමා ගමන් කළ මාර්ගය නිසා බැව් ජනතාව අතර පවතින විශ්වාසයකි.  සිරිසඟබෝ රජතුමා හිස දන්් දුන්නේ අත්තනගල්ලේ යැයි මතයක් ද පවතී.මෙහිි ඇති විහාර සළාක පිළිබඳ සෙල්ලිපි රැසක් ම පර්වතයක කොටා ඇත. ඒවා වහරළ ලිපි නමින් හැඳීන්වේ. ඒවා අද අපැහැදිලි තත්ත්වයක පවතී. පැරණි මුර ගල් හා සඳකඩ පහන, කොරවක් ගල් හා සිරිපතුල් ගල් ආදිය මෙහි දක්නට ලැබේ.දක්ඛිණගිරිය, ෙච්තියගිරිය හා චිත්තලපබ්බතය මෙන්ම හත්ථිකුච්ඡි නම් වූ මෙම ස්ථානය ද රහතන් වහන්සේලා වැඩ විසූූ ස්ථානයක් ලෙසින් එකල රටවැසියා විසින් සළකන ලද බව “විසුද්ධි මග්ග“ නම් ග‍්‍රන්ථය ලියූ බුද්ධඝෝෂ හිමි එහි සඳහන් කර ඇත.මේ අනුව බුදුසමය ලක්දිවට පැමිණි මුල් යුගයේ සිටම පැවති පුද බිමක් ලෙසින් මෙම ස්ථානය සැලකිය යුතුව ඇත.අත්තනගල්ල වටදා ගෙය සිරිසඟබෝ රජතුමා දැවූ තැන දැක්වීමට සාදන ලද්දක්ය යන විශ්වාසය බොහෝ මෑත දී ඇති වූවකි. “ශ‍්‍රී ලංකාවේ රාජාවලියේ අතිශ්‍රේෂ්ට වීරයෙකු වශයෙන් ගෞරව කරනු ලබන බෝධිසත්වගුණෝපේත ශ‍්‍රී සංඝබෝධි මහරජතුමා හිස දන් දුන් ස්ථානය කොතැන ද යන ප‍්‍රශ්නය කාලාන්තරයක් තිස්සේ පුරාවිද්‍යාඥයින් හා උගතුන් අතර සාකච්ඡාවටත් විමර්ශනයටත් භාජනය වී පවතින කරුණකි. ඒ පිළිබඳ මත දෙකක් පවතී. ගම්පහ දිස්ති‍්‍රක්කයේ සියනෑ කෝරළයේ පිහිටි අත්තනගලු විහාරය බැව් එක් මතයකි. කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ වන්නිහත්පත්තුවේ මීඔයෙන් එගොඩ කෝරළයේ ගල්ගමුව ආසන්නයේ පිහිටි රාජාංගණ හත්ථිකුච්ඡි විහාරය බැව් අනික් මතයයි. මේ පිළිබඳව විවිධ මත ඉහත සඳහන් විද්වතුන්ට අමතරව හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරුන් වූ ආචාර්ය රාජා ද සිල්වා, ආචාර්ය සද්ධාමංගල කරුණාරත්න යන මහත්වරුන් විසින් ද ප‍්‍රකාශ කර ඇති අතර, පුජ්‍ය නොච්චියේ සෝමානන්ද හිමි මේ සියලුම මත විග‍්‍රහයට භාජනය කරමින් සිරිසඟබෝ රජතුමා හිස දන් දුන්නේ රාජාංගණේ හත්ථිකුච්ඡි විහාරයේ බව ඉහත සඳහන් ග‍්‍රන්ථයේ ප‍්‍රකාශ කර ඇත.

danuma.lk


More News »