මධ්‍යකාලීන ලංකාවේ අගනුවර පුළතිසිපුර හෙවත් පොළොන්නරුව

2017-02-17 09:21:00       829
feature-top
වසර එක් දහස් පන්සියයකට අධික කාලයක් තිස්සේ ලංකාවේ අඟනුවර ලෙසින් පැවතුණේ අනුරාධපුරයයි. අනුරාධපුර රාජධානිය විනාශ වීයාමත් සමඟම (චෝල ආක‍්‍රමණය නිසා) පොළොන්නරුව ලංකාවේ ඊළඟ රාජධානිය ලෙසින් කි‍්‍රස්තු වර්ෂ 1017 සිට 1236 කාලය තෙක් පැවතුණි. එම කාලය තුළ පැවතුණ පොළොන්නරුව රාජධානිය මධ්‍යකාලීන ලංකාවේ රාජධානිය ලෙසින් ද හැඳින් වේ. මෙම කාලය අවුරුදු දෙසියකට පමණ (219) සීමා වෙයි.  අනුරාධපුරයේ නටඹුන් සහ පොළොන්නරුවේ නටඹුන් සසඳා බලන විට පොළොන්නරුවේ බොහෝ ගොඩනැගිලි සාදා ඇත්තේ ගඩොල් වලිනි.පොළොන්නරුවේ ද ඇතුළු නුවර සඳහා ගඩොල් වලින් ප‍්‍රාකාරයක් ද ගොඩනංවා තිබූ බව කැණීම් වලින් සොයා ගෙන ඇත. එය දැනට සංරක්ෂණය කර තිබේ.පොළොන්නරුවට එම නාමය ලැබී ඇත්තේ ඉතා පුරාණ කාලයේ දී පුළස්ති නම් ඍෂිවරයා වාසය කළ නගරය නිසා යැයි ජනප‍්‍රවාදයේ පවතින කතාවකි. පුළස්ති , පුලතිසි, නමින් ද හඳුන්වන මෙම ඍෂිවරයා පඬිවරයෙකු (උගතෙකු) හා වෛද්‍යවරයෙකු (වෙදකම් වල දක්ෂයෙකු) ලෙසින් ජනතාව අතර පැවතුණු කතාවකින් කියැවේ. සොලීන් (චෝලයින්) මෙම ප‍්‍රදේශය අල්ලා ගත්තේ කි‍්‍රස්තුª වර්ෂ 1017 වර්ෂයේ දීය. එසේ වූව ද ඊට බොහෝ ඉහත කාලයක සිටම මෙම ප‍්‍රදේශය ඉතා දියුණු වී තිබුණු බවට සාක්ෂි හමු වී ඇත. ලංකාවට බුද්ධාගම ගෙන ආ දේවානම්පියතිස්ස රාජ කාලයේ (කි‍්‍රස්තු පූර්ව තුන්වැනි සියවසේ දී) සිට පැවත එන ජනාවාස තිබුණු බවට සාක්ෂි මෙකළ රන්කොත් වෙහෙර අසළ ඇති ස්ථානයක සෙල්ලිපිවලින් පැහැදිලි වෙයි. ගෝපාල පබ්බත (ගෝපාල පර්වතය) නමින් ප‍්‍රසිද්ධ වූ මෙම පර්වතයේ කටාරම් යට කොටා ඇති බ‍්‍රාහ්මී අක්ෂර (අකුරු) කි‍්‍රස්තු පූර්ව තුන්වැනි සියවසට අයත් වෙයි. මේවා අනුරාධපුරයේ වෙස්සගිරිය හා මිහින්තලේ ගල් ගුහා වල ලියා ඇති බ‍්‍රාහ්මී අක්ෂර වලට සමානය. ගෝපාල පබ්බත යේ ඇති ලෙනක් පූජා කර ඇත්තේ මදල නමැති කෙනෙකි. මේ අනුව මෙය භික්ෂූන් වහන්සේලා වාසය කර තිබේ.

 භික්ෂූන් වහන්සේලා වාසය කළ එම ලෙන් අනුව මේ ප‍්‍රදේශයේ ඒ කාලයේ ජනතාව වාසය කළ බවද පැහැදිලි වෙයි.මහ විජයබාහු රජතුමාගේ නාමය මුල් කර ගෙන පොළොන්නරුවට විජයරාජපුරය යන නාමය ද පොළොන්නරුවට භාවිත වී ඇත. කීර්ති කුමාරයා මහ විජයබාහු ලෙසින් පොළොන්නරුව අගනුවර කරගෙන රජ වූ නිසා මෙසේ විජයරාජපුර යන නාමය භාවිතා වන්නට ඇත. මේ අනුව අපේ පැරණි අගනුවර වලින් පොළොන්නරුවට තරම් විවිධ නම් වලින් හැඳින් වූ නගරයක් නැති තරම් ය.සතර වැනි අග්බෝ රජතුමා (කි‍්‍රස්තු වර්ෂ 673 – 689) එතුමාගේ අවසාන කාලයේ දී පොළොන්නරුවේ වාසය කළ බව ද අසනීප වී එහි දීම මිය ගිය බව ද මහාවංශය නමැති අපේ රටේ ඉතිහාසය ගැන ලියා ඇති පොතේ සඳහන් වේ. හතරවැනි අග්බෝ රජතුමා අභාවප‍්‍රාප්ත වූ පසුව ආදාහනය කළේ ද පොළොන්නරුවේ බැව් මහාවංශයේ සඳහන් වේ. පොළොන්නරුව රාජධානිය ලෙසින් ආරම්භ කිරීමට ප‍්‍රථමයෙන් පොළොන්නරුවේ සිට රාජ්‍යය කළ (අනුරාධපුර රාජධානියේ) සිටි තවත් රජකෙනෙක් ලෙසින් පළමුවැනි සේන රජතුමා (කි‍්‍ර. ව 833 – 853) හැඳින්වේ. එසේ වුව ද පොළොන්නරුව ලංකාවේ අගනුවර බවට පළමු වරට පත් කරගනන්නා ලද්දේ චෝලයින් විසිනි. පොළොන්නරු නගරය ආශ‍්‍රිත ප‍්‍රදේශයෙහි ඔබට දකින්නට ලැබෙන්නේ චෝලයින් මහවිජයබාහු මහා පරාක‍්‍රමබාහු සහ නිශ්ශංකමල්ල යන රජවරුන් විසින් කරවන ලද ගොඩනැගිලිය. චෝලයින් විසින් විනාශ කරන ලද ආගමික ගොඩනැගිලි හා වාරිමාර්ග ව්‍යාපාර ආදිය ප‍්‍රතිසංස්කරණය කිරීම මහ විජයබාහු රජ වීමෙන් පසුව සිදු කළ කාර්යයන්ට අයත් වේ. මහ විජයබාහු රජතුමා පොළොන්නරුව අගනගරය කර ගැනීමට පෙර අනුරාධපුරයේ අවුරුදු තුනක් රජකම් කළේය. ඒ කාලයේ එතුමාගේ රජ මාලිගයේ නටඹුන් අදත් අනුරාධපුරයේ විජයබාහු මාලිගය යන නමින් දක්නට ලැබේ.

 පොළොන්නරුව අගනුවර කරගත් ප‍්‍රථම සිංහල නරපතියා වූයේ කීර්ති කුමාරයා මහ විජයබාහු නමින් රජවීමෙන් පසුවය. මෙම අගනුවර වටා ගඩොලින් කළ ඉතා ශක්තිමත් ප‍්‍රාකාරයක් ද නිර්මාණය කරවූයේ විජයබා රජතුමා විසිනි. එම ප‍්‍රාකාරයට පිටතින් දිය අගලක් ද සෑද වූයේය. සාමාන්‍යයෙන් අගනුවර වටා ප‍්‍රාකාරයක් ද දිය අගලක් ද සෑදවූයේ පර සතුරන් ගෙන් රජු වාසය කළ අගනුවර රැක ගැනීමටය. මෙවැනි අගනුවරක නටඹුන් දඹදෙණිය , යාපහුව, හා ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ දී ඔබට දැක ගත හැකිය. (ඒවා පොළොන්නරුවට පසු කාලයේ රාජධානිවලට අයත් වේ)අනුරාධපුර යුගයේ දී දන්තධාතූන් වහන්සේලා ගාවට වැඩම කරවන ලද්දේ කිත්සිරිමෙවන් (කීර්ති ශ‍්‍රී මේඝ) රජතුමාගේ රාජ්‍ය කාලයේ දීය. ඉන් පසුව රජමාලිගය අසළම දන්තධාතූන් වහන්සේ සඳහා ද විහාරයක් සාදන ලදී. එම විහාරයට ද මාලිගාව යන නාමය භාවිතා වූයේය. රජමාලිගය අසළම දන්තධාතූන් වහන්සේ තැම්පත් කර පුද පූජා පැවැත්වීම සඳහා ඉදි කළ එම විහාරය ද දළදා මාලිගය යන නාමය ව්‍යවහාර වූයේය. පොළොන්නරුවට රාජධානිය මාරුවීමත් සමඟම දළදාවහන්සේ ද පොළොන්නරුවට වැඩම කරවීමට මහ විජයබාහු රජතුමා කටයුතු කළේය. ඒ අනුව මහා විජයබාහු රජතුමාගේ මාලිගය අසළම දළදා මාලිගය ද සාදා තිබුණි. දළදා මළුව නමින් අද දක්නට ලැබෙන පොළොන්නරුවේ උස් භූමියේ මෙම දළදා මාලිගය සාදවන ලදී. එම දළදා මාලිගය (විජයබාහු රජතුමා විසින් කරවන ලද) අටදාගෙය නමින් අද දැක ගත හැකිය. විජයබාහු රජතුමාගේ රජමාලිගය තිබුණේ කොතන දැයි හරියටම පැවසිය නොහැකිය. එසේ වුවද දළදා මැදුර පිහිටා තිබුණේ රාජමාලිගයට උතුරින් යැයි සඳහන් වන නිසා ඒ අසල තිබෙන්නට ඇත. විජයබාහු රජතුමාට පසුව රජ වූ මහා පරාක‍්‍රමබාහු රජතුමා විසින් නගරය වටා බඳවන ලද මහා ප‍්‍රාකාරය ඉතා ශක්තිමත් අන්දමින් සකස් කරවන ලදී. එහි දොරටු දාහතරක් තිබුණි. එම මහා නගර ප‍්‍රාකාරය මධ්‍යම සංස්කෘතික අරමුදල පොළොන්නනරුවේ (ආලහන පිරිවෙන ව්‍යාපාරය) විසින් දැනට සංරක්ෂණය කර ඇති අන්දම දැක ගත හැකිය. ඒ කාලයේ නගරය උතුරේ සිට දකුණට සැතපුම් දෙකක් පමණ දුරට පැතිරී තිබුණි. අනුරාධපුරයට වඩා ආරක්ෂිත නගරයක් ලෙසින් පොළොන්නරුවේ අගය ඉතා වැදගත් ය. එගොඩ රුහුණු දේශයයි. රජරටට පැමිණෙන සතුරු සේනාව ඉතාමත් පහසුවෙන් මර්ධනය කිරීමට පොළොන්නරුව ඉතා සුදුසු බිමක පිහිටියේය. මහවැලි ගඟ පොළොන්නරුව නගරය ආරක්ෂා කරගන්නා දිය අගලක් ලෙසින් ද සැලකිය හැකිව ඇත. ඒ තරමටම මහවැලි ගඟේ පිහිටීම පොළොන්නරුවට ආරක්ෂාව සැපයීය

danuma.lk


More News »