දීඝවාපි විහාරය

2017-02-15 11:00:00       829
feature-top
ඉපැරැණි ශ‍්‍රී ලංකාවේ රෝහණ මණ්ඩලයට අයත් වන ප‍්‍රදේශ අතරින් වර්තමාන අම්පාර දිස්ති‍්‍රක්කය හෙවත් දිගාමඩුල්ල එකල ඉතා වැදගත් සමාජීය හා සංස්කෘතික අංගයන්ගෙන් පරිපූර්ණ ප‍්‍රදේශයක් විය. වන ගහනයෙන් හා ත‍්‍රස්තවාදයේ අඳුරු සෙවණැලිවලින් ආවරණය නොවන්නට තවත් බොහෝ පුරාවිද්‍යා ස්මාරක හමුවන්නට ඉඩ ඇත්තා සෙ ම මේ වන විටත් දිගාමඩුල්ල ඉතා අගනා පුරාවිද්‍යා ස්ථාන සහිත ප‍්‍රදේශයකි. ඉපැරැණි අටුවා ග‍්‍රන්ථ මහා වංශය දීපවංශය අදී කෘතිවල ගල්හ ගංගාව ලෙස හඳුන්වා ඇති ගල්ඔය බඩ හා ඊට දකුණු ප‍්‍රදේශය දිගාමඩුල්ල යනුවෙන් හඳුන්වා ඇත.දිගාමඩුල්ලේ සෑම අස්සක් මුල්ලක් නෑර ම සතරැස් සැතපුමක් තුළ ම බොහෝ වෙහෙර විහාර හා ඉපැරැණි නටබුන්වල අසිරිය මුලින් ම ලොවට හඬගා කියන්නේ මයා රංජන් නැමති ගුරු භවතෙකි. මෙකී අපමණ වන්දනීය ස්ථාන අතරින් කේන්ද්‍රිය පූජනීය ස්ථානය ලෙස හඳුන්වා දිය හැක්කේ නඛා වෙහෙර ලෙසින් ඉපැරැණි වංශකථාවල සඳහන් වන දීඝවාපී පින් බිමයි.බුදුරජාණන් වහන්සේ තුන්වැනි වර ලංකාවට වැඩම කළ අවස්ථාවේදී සමනල කන්දේ පාමුල දිවා කාලය ගත කර ඉන් පසු දීඝවාපී පින්බිමට වැඩම කර වර්තමාන චෛත්‍ය පිහිටි ස්ථානයේ රහතුන් වහන්සේලා සමග සමාපත්ති සුවයෙන් වැඩ සිටි බව වංශ කථාවල සඳහන් වේ. තවත් වංශ කථාවක සඳහන් වන්නේ බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කිරීමෙන් පසුව දීඝවාපියට වැඩම කළ බව ය. සම්බුද්ධ පාදස්පර්ශයෙන් ආශිර්වාද ලද දීඝවාපී චෛත්‍ය එහෙයින් ම ලංකාවේ බෞද්ධ ජනතාවගේ අති උත්තම පුද බිමක් බවට පත්වී ඇත.

දීඝවාපී පුදබිමදිගාමඩුල්ලේ චාරිකාවක් කරන කෙනෙකු දීඝවාපී පුදබිම වැඳ පුදා නොගත හොත් එය විශාල අඩු පාඩුවකි. අම්පාර නගරයේ සිට හිඟූරාන මාර්ගයේ ගමන් කළ අපි එරගම මං සන්දියෙන් වමට ඇති මාර්ගය ඔස්සේ දීඝවාපී පුද බිමට අවතීර්ණ වීමු. දුටුගැමුණු නිරිඳුන්ගේ සොහොයුරා වන තිස්ස කුමරු දිගාමඩුල්ලට පැමිණ එය සහලෙන් සශ‍්‍රික කළ බව සඳහන් ය. එය එසේ ම වර්තමානයට ද ගෙන එමින් දිගාමඩුලු ගොවි රජවරු ශ‍්‍රී ලංකාවේ වාර්ෂික වී නිෂ්පාදනයෙන් වැඩි ප‍්‍රතිශතයකට තම දායකත්වය සපයයි. එරගම මාර්ගය දෙපස ද ක්ෂිතිජය දක්වා දිවෙන කුඹුරු යාය නීල වර්ණයෙන් නෙතට රසඳුනක් ගෙනෙමින් ඛ්යන්නට උත්සාහ කරන්නේ අප‍්‍රමාණ ධෛර්ය වත් ශ‍්‍රී ලාංකීය ගොවි රජවරුන්ගේ දහඩිය මුගුරේ අනුහසයි. මඳක් අබලන් මාවත දිග රථය ඉදිරියට ඇදෙද් දී කිරි වැදුණු ගොයම පිස හමන සුලං රැළි ගත සිත උද්දාමයට පත් කරයි. කොළොම්පුර ගෙන්දගම් පොලොවේ දාහයෙන් මිදී ගත සිත ඒ පී‍්‍රතිය විඳගන්නේ ඉහිලුම් නොමැති සතුටකිනි.උතුරු ඉන්දියාවේ සිට පැමිණි භද්දකච්චායනා කුමරිය ගේ පිරිවර ශ‍්‍රී ලංකාවේ වියලි කලාපය අතරින් පතර අනුරාධගාම විජිත ගාම ආදී ලෙස ජනාවාස පිහිටුවාගත් බවට ඉපැරැණි සාධක ඇත. ඒ සමඟ පැමිණි දීඝායු නම් කුමාරයෙකු මුලින් ම දිගාමඩුල්ලේ ජනාවාස පිහිට වූ බව පිළිගැනෙයි. අතීතයේ සිට ම මෙම ප‍්‍රදේශය ආර්ය ජනාවාසයක් වූ බවට එය සාධකයකි. නමුත් වර්තමානය වන විට මේ තත්ත්වය සම්පූර්ණයෙන් ම පාහේ වෙනස් වී ඇත. අද මෙම ප‍්‍රදේශයේ බොහෝ සෙයින් වාසය කරන්නේ මුස්ලිම් ජනතාවයි. එරගම දීඝවාපියට ආසන්න ම නගරය ලෙස හැඳින්විය හැකි ය. තෙල් පිරවුම්හලක් කඩමණ්ඩියක් වැඩි අවශ්‍යතා සහිත එරගම හන්දියේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් දීඝවාපිය බලායන බැතිමතුන්ගේ පහසුව පිණිස දැන්වීම් පුවරුවක් සවිකර ඇත. තරමක දුර කතරක් ගෙවා අපි දීඝවාපී පුදබිම වෙත පිවිසෙන මකර තොරණ වෙත සේන්දු වන විට දහවල් දහය පමණ වී තිබුණි. ඉරිදා දිනයක් වුවත් එතරම් බැතිමතුන් පිරිසක් මෙහි පැමිණ තිබූූ බව නොපෙනුණි. අපි රථයෙන් බැස කෙලින් ම දීඝවාපි චෛත්‍ය වන්දනා කරන්නට ගියෙමු. කි‍්‍රස්තු පූර්ව දෙවැනි සියවසේ දී කාවන්තිස්ස රජු විසින් තම කනිශ්ඨ පුත්් තිස්ස කුමරු දිගාමඩුල්ලේ රැඳවීමට කටයුතු කළේ ය. රෝහණයේ උතුරු ප‍්‍රදේශය වූ මෙහි ආරක්ෂා කටයුතු සංවිධානය කිරීමත් කෘෂිකාර්මික කටයුතු දියුණු කිරීමත් ඉන් අදහස් කෙරුණි. දුටුගැමුණු රජතුමා එළාර පරදවා ශ‍්‍රී ලංකාව එක් සේසත් කිරීමෙන් අනතුරුව ද තිස්ස කුමරුට ප‍්‍රධාන වශයෙන් භාර වූයේ රටට අවශ්‍ය ධාන්‍යවලින් රට ස්වයංපෝෂිත කිරීම ය. තිස්ස හෙවත් සද්ධාතිස්ස කුමරු දිගාමඩුල්ලේ කෘෂිකාර්මික කටයුතුවල නියැලී වෙහෙර විහාර රාශියක් ද කරවමින් කාලය ගෙවී ය. කි‍්‍ර. පූ. 137 දී සද්ධාතිස්ස රජවීමෙන් පසුව ද මෙම කටයුතු අඛණ්ඩව කරගෙන යන ලදී. මේ හේතු කොට දීඝවාපී ප‍්‍රදේශයේ බොහෝ වෙහෙර විහාරස්ථාන සද්ධාතිස්සයන් විසින් කරවන්නට ඇතැයි සිතිය හැකි ය. සද්ධාතිස්ස රජතුමා දීඝවාපි වෙහෙර කරවූ බවට මහාවංශය සාක්ෂි දරයි.

සුවිසල් චෛත්‍යය වර්තමානයේ පාදමක් මත මඳක් බැම් බැඳ ඉතිරි චෛත්‍ය ගර්භය නොයෙකුත් වල් පැලෑටි වලින් හෙබි පස් කන්දක් බවට පත්්වී ඇති විටදී ප‍්‍රමාණය එසේ නම් ඉපැරැණි වෙහෙර කොරතම් විශාල වන්නට ඇත්දැයි සිතාගත හැකි ය.චෛත්‍යයෙ එක පැත්තක ඉඳල හේවිසි ගැහුවට අනිත් පැත්තට ඇහෙන්නේ නෑ. ගමන් සගයෙකු පැවසුවේ මෙම සුවිසල් චෛත්‍යයේ ප‍්‍රමාණය කොතරම් දැයි මැනවින් පසක්් කරගත හැකි අයුරිනි. සැබැවින් ම මෙය ශ‍්‍රී ලංකාවේ විශාලම ස්ථූප අතරින් එකක් වූවා නිසැක ය.චෛත්‍යයට අමතරව තවත් බොහෝ නටබුන් පුදබිම පුරා විසිරී ඇත. අතීතයේ අක්කර පන්සීයයක් පමණ ආවරණය කරමින් මෙම දීඝවාපි විහාරය හා අනෙකුත් ගොඩනැගිලි සංකීර්ණය පැතිර ඇති බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සාක්ෂි දක්වයි. ප‍්‍රධාන ස්ථූපය හැරුණු විට බෝධිඝර ආවාස ගෙවල් ප‍්‍රතිමාඝර වෙදහල් ආදී නොයෙක් ගොඩනැගිලි මෙම භූමිය පුරා විසිරී පවතිමින් දෙස් දෙන්නේ ආදි කාලයේ දී මෙය සියලු අංගවලින් සම්පූර්ණ විහාරස්ථානයක් වශයෙන්් පවතින්නට ඇති බවයි. චෛත්‍ය වටා කාලයාගේ ඇවෑමෙන් විනාශයට යන බුදුපිළිම ගල් කණු සඳකඩ පහන් ඕනෑ තරම් සොයා ගත හැකි ය. මූලික පුරා විද්‍යා ගවේශණවලින් සොයා නිරාවරණය කර ගත්ත ද මෙම නටබුන් යළිත් වනාන්තරයෙන් ම වැසී යමින් පැවතීම කණගාටුවට කරුණකි.

අපගේ උරුමයන්මෙයට මූලික වග උත්තර කරුවන් ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ඇඟිල්ල දික් කරන්නට මම උත්සාහ නොකරමි. එයට හේතුව පිරිස් හිඟය හා වෙනත් ගැටලු නිසා ශ‍්‍රී ලංකාවේ අප‍්‍රමාණ පුරා විද්‍යා නටබුන් රැක ගැනීමට එම දෙපාර්තමේන්තුවට පමණක් සිදු කළ නොහැකි බැවිනි. බෞද්ධයන් වශයෙන් අපගේ උරුමයන් ගැන උජාරුවෙන් කථා කරන අපිත් මෙම විනාශයන්ට වගකිව යුත්තෝ වන්නෙමු. ජනගහණයෙන් ඈත් වන්නට ඈත් වන්නට ඒ අඩුව පුරවන්නට මෙම පින් බිම්වලට පැමිණෙන්නේ වන ගහණය හා නිදන් සොරුන් පමණකි.පැරණි රජවරුන්ගේ නොමද වන්දනා මානයට දීඝවාපිය ලක් වූ බවට පැහැදිළි සාදක ඇත. ඒ ඒ වකවානුවේ රජවරු විවිධ අයුරින් මෙම පුද බිමට රාජ අනුග‍්‍රහය සැපයූහ. මෙම පින් බිමට නඛා වෙහෙර යන නාමය ලැබී ඇත්තේ බුදුරදුන්ගේ නිය ධාතුවක් මෙහි තැන්පත් කර ඇති බැවිනැයි සැලකෙන බැවින් ද මෙම විහාරයට අතීතය පුරා ම ඉහළ වන්දනීයත්වයක් ලැබී ඇත. මහනුවර රාජධානියේ රජකම් කළ කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු පවා මෙම දීඝවාපි පුද බිමට පැමිණ 18 වැනි සියවසේ මැද භාගයේ දී රාජ අනුග‍්‍රහය ලබා දීමෙන් පෙනී යන්නේ ස්වර්ණමය යුගය කඳුකරයෙන් අනෙක් පැත්තට පිවිසිය දී පවා මෙම පින්බිම ලක්දිව වැදගත් බෞද්ධ ස්ථානයක් වූ බව ය. කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු වී බිජු අමුණු දහසක වපසරිය හා ග‍්‍රාම ක්‍ෂේත‍්‍ර හා ගව මහීෂාදීන් පුජා කිරීමෙන් මෙය තවත් පැහැදිලි වේ. දීඝවාපී චෛත්‍ය අසලින් හමූ වී ඇති සිරිපතුල් ගල් මුල් කාලයේ දී අනුරාධපුරයෙන් සිතුල්පව්වෙන් තිස්සමහාරාමයෙන් හෝ මිහින්තලයෙන් ලැබෙන සිරිපතුල් ගල්වලට නොදෙවෙනි ඉපැරණි බවක් පෙන්වයි. දීඝවාපී චෛත්‍යයට නුදුරින් හමු වී ඇති විශාල ගල් කණුවල කොටස් පිළිබඳව කරුණු ඉදිරිපත් කරණ පුරාවිද්‍යාඥයින් ගේ මතය වන්නේ මෙහි මහල් කිහිපයකින් යුත් ගොඩනැගිලි තිබෙන්නට ඇති බවයි. තනි මහලක ගොඩනැගිල්ලක් නම් මෙහි ඇති ගල් කණු මෙතරම් විශාල නොවනු ඇත. ඊට අමතරව දීඝවාපිය අවට වර්ග සැතපුම් 16 ක් තුළ පුරාවිද්‍යා ස්ථාන තිස්හතක් පමණ හමුවීමෙන් පෙනී යන්නේ මෙම විහාරය ආශ‍්‍රිත ප‍්‍රදේශය ඇතැම් විට මුළු රෝහණ රාජධානියේම අග‍්‍රනගරයක් වන්නට ද ඉඩ ඇති බවයි.

නටබුන් පැරැණි රජ කාලයෙන් පසුව දීඝවාපිය නැවත මෑතකදී සොයා ගන්නා ලද්දේ මඩකලපුව දිස්ති‍්‍රක්කයේ ආදායම් පාලක නිලධාරියෙකු විසින් බව සඳහන් වේ. ඒ 1810 වසරේ දී ය. 1896 දී පොදු වැඩ දෙපාර්තමේන්තුව මගින් මෙහි නටබුන් ආදිය විනාශ කර එහි කොටස් යාබද වාරිමාර්ග සංවර්ධන කටයුතු වලට යොදා ගෙන ඇති බව අසන්නට ලැබේ. මේ අතර 1916 දී පූජ්‍ය කොහුකුඹුරේ නාහිමියන් මෙම ස්ථානයේ ගරාවැටුණු චෛත්‍ය සොයාගත් බව සඳහස් වේ. ඉන් පසු මෙම කොහුකුඹුරේ රේවත හිමියන් චෛත්‍ය පිහිටි ස්ථානයේ 1935 දී කටුමැටි ආවාසයක් තනවා නොයෙකුත් දුක් කම්කටොලු මැද විහාරයේ දියුණුවට කටයුතු කර ඇත. උන්වහන්සේ මෙහි වැඩම කරන විට මේ පුදබිමට පැමිණීමට මාර්ගයක් වත් නොවීය.පසුගිය කාලයේ දී දීඝවාපිය යලිත් කරලියට පැමිණියේ ඔලුවිල් නව මාර්ගය තැනීමේදී අසල බුල් ඩෝසර් කිරීම නිසා චෛත්‍යයක් හානියට පත්වීමෙනි. මෙම උවදුරු එදා පූජ්‍ය රේවත හිමියන්ට ද විඳින්නට වූ බව පැහැදිලි කරමින් 1950 ඔක්තෝබර් 13 වැනිදා උන්වහන්සේ සාහසිකයෙකුගේ වෙඩි පහරින් අපවත් වූ සේක.චෛත්‍ය අවට සැරි සැරූ අපට ඇතැම් නටබුන් වෙත ළඟා වීමට සිදුවුණේ කටුගාල් හා පඳුරු පීරාගෙන යෑමෙනි. ඇතැම් තැන්වලට එසේ හෝ ළඟා විය නොහැකි විය. මෙම බිමෙහි සිදු කළ පුරාවිද්‍යා ගවේෂණ වලදී හමුවූ කරඬු සන්නස් ප‍්‍රථිමා කාසි ආදිය යාබද පුරාවිද්‍යා කෞතුකාගාරයෙහි තැන්පත් කර ඇති බව සැලවුනෙන් අපි එය නැරඹීමට ද ගියෙමු. නමුත් එදින ඉරිදා දිනයක් වූ බැවින් අවාසනාවට කෞතුකාගාරය නැරඹීමේ අවස්ථාව අපෙන් ගිලිහී ගියේය.

බැතිමතුන් පැය ගණනාවකට පසු යලිත් අපි රථය වෙත පැමිණෙන විට සංචාරක නඩ දෙකක් මෙම පින්බිමට සේන්දු වෙනු අපි දුටිමු. ඔවුන්ට ද අපට මෙන් ම ඉතා වටිනා අවස්ථාවක් වන කෞතුකාගාරය නැරඹීමේ අවස්ථාව ගිලිහෙනු ඇත. විහාරයේ ආරක්ෂාවට යොදා ඇති පොලිස් මුරපොලේ නිලධාරීන් පැවසුවේ කෞතුකාගාරය භාර නිලධාරියා ඉරිදා නිවාඩු ලබන බවයි. නමුත් බොහෝ බැතිමතුන් මෙහි එන්නේ සති අත්තයේ බැවින් ඉරිදා වෙනුවට නිවාඩු දිනය වෙනත් සතියේ දිනකට යොදා ගන්නේ නම් ඉතා වටිනා බව සඳහන් කළ යුතු ය. දීඝවාපිය හා ඊට නුදුරු පුරාවිද්‍යා ස්ථාන 25 ක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ඉපැරණි ස්මාරක ලෙසින් ප‍්‍රකාශයට පත් කර ඇත. කි‍්‍රස්තු පූර්ව හයවැනි සියවසේ සිට මේ දක්වාව අඛණ්ඩ බෞද්ධ ඉතිහාසයක් හා බැඳුණු මෙම දීඝවාපිය හෙවත් නඛා වෙහෙර පුදබිම අනාගත පරපුර සඳහා රැක ගැනීමේ අවශ්‍යතාවය අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. නමුත් එම කටයුත්ත දෙපාර්තමේන්තුවකට පමණක් හුදෙකලාව සිදු කළ නොහැකි බව ද ඒ වෙනුවෙන් දීඝවාපිය මෙන්ම වැනසී යන නැගෙනහිර සෑම හෙළ බොදු උරුමයක් වෙතම හැකි සෑම විටකම පෙර අතීතයේ මෙන් සාදු නාද රැවුදෙන්නට රොක් විය යුතු බව නම් යළි යළිත් සඳහන් කළ යුතුය.

Wmqgd .ekSu /�K mqj;am; weiqfrks

More News »