කටුගෙට යන්න ගිය කටු ගේ ප්‍රතිසංස්‌කරණය කළ හැටි

2017-02-13 10:48:00       829
feature-top
කොළඹ සුවිශේෂී ඉදිකිරීම් අතර ජාතික කෞතුකාගාර ගොඩනැඟිල්ලට හිමි වන්නේ අද්විතීය ස්‌ථානයකි. ඉතාලි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව වර්ෂ 1877 දී පමණ ඉදිකර ඇති ජාතික කෞතුකාගාර ගොඩනැඟිල්ල ඉදිකිරීමේ ගෞරවය එවකට ලංකාවේ ආණ්‌ඩුකාර ධුරය දැරූ ඉංග්‍රීසි ජාතික ශ්‍රීමත් විලියම් හෙන්රි ග්‍රෙගරි මැතිතුමාට හිමිවන අතර එම ගොඩනැඟිල්ල සැලසුම් කිරීමේ ගෞරවය හිමිව ඇත්තේ එවකට රජයේ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ වාස්‌තු විද්‍යාඥයා ලෙස කටයුතු කළ ඡේම්ස්‌ ජී. ස්‌මිදර් නම් විදේශිකයා වෙතය.

කොළඹ 07, ශ්‍රීමත් මාකස්‌ ප්‍රනාන්දු මාවතට නුදුරින් පිහිටා ඇති ජාතික කෞතුකාගාර භූමියත්, ඒ මැද විරාජමාන ලෙස බැබළෙන ජාතික කෞතුකාගාරයත් පිළිබඳ ඉතිහාසය පවා දිගු ඉතිහාස කතාවක්‌ බඳුය. ජාතියක්‌ සතුව පැවති විභූතිමත් ඉතිහාසයක අනුලංඝනීය උරුමයන් යුග යුග ගණන් නිරුපද්‍රිතව ආරක්‌ෂා කිරීම, සංරක්‍ෂණය කිරීම සහ රටක්‌ සතු සිරිමත් මතකයන් යළි යළිත් ස්‌මරණය කිරීම පිණිස ඉදිකොට ඇති ජාතික කෞතුකාගාරය ආරම්භ කොට මේ වන විට වසර 140 ඉක්‌ම ගොස්‌ අවසන්ය.

අව් වැසි සුළං මැද කාලය විසින් කෙමෙන් වියපත් කරන ලද ජාතික කෞතුකාගාර ගොඩනැඟිල්ල වරින් වර තම වියපත් බව ප්‍රකාශ කරන්නට ගන්නේ දැනට වසර කීපයක එපිට සිටය.

එයට විසඳුම් වශයෙන් වරින් වර ඒ සඳහා පිළියම් යෙදීමට කෞතුකාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර ඇතත් දැනට වසර දෙකකට පමණ එපිට දිනක ජාතික කෞතුකාගාර ගොඩනැඟිල්ලේ ඉහළ මාලය වෙත පිවිසීම පිණිස ඇති දැවමය තරප්පු පෙළ කඩාවැටී ඇත්තේ බරපතළ අනතුරක පෙර නිමිති පහළ කරමිනි.

රටට අභිමානයක්‌ එක්‌ කරමින් වසර 140 ක ඉපැරැණි ඉතිහාසයක්‌ දරාහුන් නිහඬ සාක්‍ෂිකරුවකු බඳු ජාතික කෞතුකාගාරය අලුත්වැඩියා කිරීමේ දැවැන්ත ව්‍යාපෘතිය ආරම්භ වන්නේ එතැන් සිටය.

රුපියල් මිලියන දෙසීයක පමණ වියදමින් වසර දෙකකට ආසන්න කාලයක්‌ පුරා සිදු කරන ලද දැවැන්ත සංරක්‍ෂණ ව්‍යාපෘතිය ක්‍රියාවට නඟන ලද ආකාරයත්, එයට සහ සම්බන්ධ වූ රාජ්‍ය ආයතන ඇතුළු විවිධ පාර්ශ්වයන් තමන්ට අයත් වගකීම්වල නිරතවූ ආකාරයත් පිළිබඳ අප කළ විමසුමකට පිළිතුරු දෙමින් ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂිකා සනූජා කස්‌තුරිආරච්චි මහත්මිය මෙලෙස පවසා සිටියාය.

ජාතික කෞතුකාගාර ගොඩනැඟිල්ල ඉදිකරල වසර 140 ක්‌ ගතවුණාට පස්‌සෙ ඉතිහාසයේ පළමු වතාවට තමයි මීට වසර දෙකකට පමණ පෙර අලුත්වැඩියා කටයුතු ආරම්භ කරන්න ගන්නෙ. ඒකට හේතු කීපයක්‌ තිබුණ. මුලින්ම අපි තේරුම් ගත්ත දෙයක්‌ තමයි කාලයක පටන් මේ ගොඩනැඟිල්ල සංරක්‌ෂිත ප්‍රතිකාරයක්‌ ඉල්ලා සිටින බව. එතැනදී අපි ක්‍රියාත්මක වෙලා ඒ ප්‍රතිසංස්‌කරණ කටයුතු සිද්ධ කරනව. ඒ අතරෙදි කෞතුකාගාර ගොඩනැඟිල්ලෙ ඉහළ මාලයට පිවිසීම සඳහා ඇති දැවමය තරප්පු පෙළ කඩාගෙන වැටෙනව. මේ ස්‌ථානයේ දැවැන්ත ප්‍රතිසංස්‌කරණයක අවශ්‍යතාව මතු වෙන්න ගත්තෙ එතැනින්..."

ඊට පස්‌සෙ ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශයට මම කිව්වා මේ ගොඩනැඟිල්ල පිළිබඳ තත්ත්ව වාර්තාවක්‌ ලබා දෙන්න කියල. එතැනදි ඉතාමත් හොඳ පරීක්‍ෂා කිරීමකින් අනතුරුව ඒ අය තීරණය කරල තිබුන තත්ත්වය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකියි කඩිනමින් ප්‍රතිසංස්‌කරණයක්‌ අවශ්‍යයි කියල. ඇත්තටම ඒ කටයුත්ත ගොඩනැඟිල්ලක්‌ ප්‍රතිසංස්‌කරණය කරනවට වඩා එහා ගිය සංකීර්ණ කටයුත්තක්‌. මම එහෙමම කියන්නෙ මේ ස්‌ථානයේ තිබෙන පෞරාණිකතාව පදනම් කරගෙන. විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක්‌ තමයි මේක. කෞතුකාගාර ගොඩනැඟිල්ල ප්‍රතිසංස්‌කරණය කළා කියනවට වඩා හොඳයි පෞරාණික ස්‌මාරකයක්‌ ප්‍රතිසංස්‌කරණය කළා කියල හඳුන්වාදීම. මම එහෙම කියන්නෙ මොකද මෙතැනදී පැරැණි ඉදිකිරීම් ඒ තුළ තිබුණ සියුම් ඉසියුම් රේඛාවන් පවා පෙර තිබූ අයුරින්ම නිර්මාණය කළා. ඒක අභියෝගයක්‌. පැරැණි කැටයම්, ආරුක්‌කු පෙර තිබූ පරිදි නිර්මාණය කිරීම අතිශය දුෂ්කර කටයුත්තක්‌. නමුත් මම මේ වෙලාවෙදි ඉතාමත් නිහතමානි ආඩම්බරයෙන් කියනව අපි ඒ සියලු අභියෝග ජයගත්ත කියල.

විශේෂයෙන් ඒ කටයුත්තෙදි පාර්ශ්ව තුනක්‌ මැදිහත්වීම මත තමයි සියලු කටයුතු සිද්ධ වෙන්නෙ.ඉංජිනේරු කාර්යාංශය විසින් ඉංජිනේරු දැනුම, ඊට අමතරව ශ්‍රී ලංකා යුද හමුදාවෙ 6 වැනි ඉංජිනේරු සේවා බළකාය විසින් ඉදිකිරීම් කටයුතු සිද්ධ කළා. ඊට අමතරව දෙපාර්තමේන්තුව මට්‌ටමින් සියලු නිලයන්ට අයත් හැමෝම පුදුමාකාර කැප කිරීමක්‌ සිද්ධ කළා. ඒ සියලු දෙනාගේ මැදිහත්වීම මත තමයි මේ තරම් සාර්ථකව සියලු කටයුතු සිද්ධ වෙන්නෙ. ඇත්තටම ආයතන ප්‍රධානියා විදිහට මම ඒ සියලු දෙනාගේ කැපකිරීම ඉතාමත් හොඳින් දකිනව. මේ කටයුත්ත ඒ අයගෙ වැඩක්‌ ලෙස දැකල එහෙම හිතල තමයි මේකට දායකත්වය දුන්නෙ.

මෙතැනදි කෞතුකාගාර ගොඩනැඟිල්ල සංරක්‍ෂණ ප්‍රතිසංස්‌කරණ කටයුත්තෙදි ඒ කටයුත්ත ඉටුකර ගන්නෙ කා හරහාද කියන එක අපට මුලින් ගැටලුවක්‌ව පැවතුණා. අපි දෙපාර්තමේන්තු මට්‌ටමින් කතාබහ කරල අවසානයේ තීරණය කළා මෙය ශ්‍රී ලංකා යුද හමුදාව හරහා ඉටු කරගත යුතුයි කියල. ඒ පාර තමයි අප එවකට යුද හමුදාපතිව සිටි දයා රත්නායක මහත්තයව මුණගැහිල අපේ අවශ්‍යතාව ප්‍රකාශ කරන්නෙ. ඇත්තටම මේ ක්‍රියාවලියේදී අපි ගත්ත සාර්ථකම තීරණයක්‌ තමයි ඒක. එතුමා ඉතාමත් කැමැත්තෙන් ඒ සඳහා මැදිහත් වෙන්න තීරණය කරනව. ඊට අමතරව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ අපේ ආයතනය විසින් පෞරාණික ස්‌මාරකයක්‌ ප්‍රතිසංස්‌කරණය කිරීමේදී අවශ්‍ය උපදෙස්‌ හා මඟපෙන්වීම සිද්ධ කරනව. මෙතැනදී මේ කටයුත්ත සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමේදී සංස්‌කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය එස්‌. බී. නාවින්න මැතිතුමා ඉතාමත් ඕනෑකමින් ඒ සඳහා මැදිහත්වීම මෙම කාර්යය වඩාත් හොඳින් ඉටුකර ගැනීමට අපට විශාල ශක්‌තියක්‌ කියන එකත් විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයක්‌....

අධ්‍යක්‍ෂවරිය පවසා සිටි ආකාරයට ගොඩනැඟිල්ලේ ඇති ඉපැරැණි බව ඒ අයුරින්ම ආරක්‌ෂා කරමින් සිදුකළ ප්‍රතිසංස්‌කරණ කටයුතුවලින් අනතුරුව කොළඹ පිහිටි ජාතික කෞතුකාගාරය යළිත් මහජනතාවට දැක බලා ගැනීම පිණිස විවෘතව ඇත. ස්‌මාරක සංරක්‍ෂණයේ දී අනුගමනය කළ යුතු නියමයන් සහ ක්‍රමවේදයන් ඒ අයුරින්ම අනුගමනය කරමින් සිදුකර ඇති ප්‍රතිසංස්‌කරණ කටයුතුවලින් අනතුරුව ඉකුත් 06 දා මහජන ප්‍රදර්ශනය පිණිස යළි විවර වූ කෞතුකාගාරය දැක බලාගැනීමේ අටියෙන් අප එහි සංචාරයක නිරත වීමු

වෙන් වෙන්ව උස ගිය උස්‌ තුරු පෙළක්‌ පසුබිමෙහි අලුත දලු ලා වැඩුණු තණ පළස මත නැඟී සිටි යෝධයෙකු මෙන් ජාතික කෞතුකාගාරය ඈතට දිස්‌වූවේ එය දකින ඕනෑම කෙනෙකු තුළ මනස්‌කාන්ත දර්ශනයක්‌ මවමින්ය. භූමි අලංකරණයේ පවා ඇත්තේ නැවුම් බවක්‌ය. සියල්ල යහපත්ව නිසි පරිදි සිදුවී ඇතැයි සිතිය හැකි වටපිටාව තුළත් කෞතුකාගාර ගොඩනැඟිල්ල තුළ තැන්පත් කර ඇති පෞරාණික ප්‍රදර්ශන භාණ්‌ඩ අසලත් දෙස්‌ විදෙස්‌ නරඹන්නන් විශාල ලෙස ගැවසෙමින් අසිරිමත් ඉතිහාසගත සිරිමත් මතකයන් මෙනෙහි කරමින් පුරාවස්‌තු නරඹන අයුරු එහි ගිය අපට දැකගත හැකිවූ තවත් දසුනක්‌ විය.

වර්ෂ 1877 ජනවාරි මස පළමුවැනි දින ආරම්භ කළ ජාතික කෞතුකාගාරය තුළ මේ වන විට රටක හෘද සාක්‍ෂිය බඳු වටිනා පුරා වස්‌තූන් ලක්‍ෂයකට ආසන්න ප්‍රමාණයක්‌ තැන්පත් කර තිබෙන අතර ස්‌වභාවික සහ සංස්‌කෘතික යන අංශ දෙකටම අයත් පුරා වස්‌තූන් එකම ස්‌ථානයකදී නැරැඹීමේ විරල අවස්‌ථාව පවතින්නේ කොළඹ ජාතික කෞතුකාගාරය තුළය. අග්නිදිග ආසියාවේ කිසිදු රටකට නොදෙවැනි ආකාරයේ පුරා වස්‌තූන් එකතුවක්‌ ජාතික කෞතුකාගාරය සතුවීමත්, ඒ අතුරින් ලෝකය තුළ ඇති අති විශිෂ්ට නිර්මාණ එකතුවක්‌ වන ඇත්දළ නිර්මාණ එකතුවක්‌ ජාතික කෞතුකාගාරය සතුව පැවතීමත් සුවිශේෂී කරුණකි. රටක්‌ ලෙස අප ගමන් ගත් මඟෙහි ආගමික, සංස්‌කෘතික, සමාජීය පසුබිම කියාපාන තවත් අනුලංඝනීය උරුමයන් රැසක ශේෂයන් ලක්‍ෂයක්‌ පමණ ජාතික කෞතුකාගාරය සතුව පැවතීම රටක්‌ ලෙස ආඩම්බර විය යුතු කරුණකි. එවැනි දෑ සියෑසින් දැක බලා ගනිමින් ඒ අසල සැරිසැරීම තුළ පවා ඇත්තේ රට සතුව පැවති ඉතිහාසය පිළිබඳ උස්‌ සිතුවිලි සිත් තුළ පහළ වීමකී.

මේ මොහොත වන විට රට සතු ඉතිහාස උරුමයන් පස්‌ තට්‌ටුව පිටින් ගලවා දැමීමේ විවිධ කුමන්ත්‍රණයන් ක්‍රියාත්මක වෙමින් පවතින්නේය. එවැනි වටපිටාවක්‌ තුළ ජාතික කෞතුකාගාරය මුළුමනින්ම නැරැඹීමේ අවස්‌ථාව රටවැසියන් වෙත උදාවීම පිළිබඳ පුවත පවා සුභාරංචියක්‌ බඳුය. රටක්‌ සතු ඉතිහාසය පිළිබඳ උස්‌ සිතුවිලි පහළ වන්නේ ඒවා සියෑසින් දැක බලා ගැනීම හා දැනුවත් වීමේ ප්‍රමාණයට අනුවය. රටට නැවතත් එම අවස්‌ථාව විවර කරමින් නැවත ජාතික කෞතුකාගාරය මුළුමනින් නැරැඹීමේ අවස්‌ථාව රටවැසියන් වෙත උදාවීම රටක්‌ ලෙස ආඩම්බර විය යුතු කරුණක්‌ය.


Wmqgd .ekSu kj,sh mqj;a m; weiqfrks

More News »